එක්දින පන්දු යවන්නන් අතර පළමු තැන තීක්ෂණට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්

International Cricket

70

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් එහි නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද (19දා) යාවත්කාලීන කර තිබූ අතර එහි පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත් වී තිබීම කැපී පෙනේ. 

එහිදී තීක්ෂණට ශ්‍රේණිගත ලකුණු 680ක් හිමිවී ඇති අතර මෙතෙක් කළක් පළමු තැන හිමිකරගෙන සිටි ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් දෙවැනි ස්ථානයට පත්වී තිබිණි. ඊට අමතරව වනිදු හසරංග ද පන්දු යවන්නන් අතර පියවර 2ක් ඉදිරියට පැමිණෙමින් 19 වැනි ස්ථානයට පත්වී තිබීම ද විශේෂත්වයකි. දුනිත් වෙල්ලාලගේ පියවර 15ක් ඉදිරියට පැමිණ තිබීම කැපී පෙනෙන සිදුවීමකි. එහිදී දුනිත්ට එක්දින පන්දු යවන්නන් අතර 37 වැනි ස්ථානය හිමි වී ඇත. අසිත ප්‍රනාන්දු ද පියවර 30ක් ඉදිරියට පැමිණ 57 වැනි ස්ථානයට පත්ව තිබේ. 

මේ අතර එක්දින පිතිකරුවන් අතර පියවර 8ක් ඉදිරියට පැමිණ ඇති ශ්‍රී ලංකා නායක චරිත් අසලංක එම සටහනේ 8 වැනි ස්ථානය දක්වා උසස්වීමක් ලබා තිබේ. එසේ වුවත් පැතුම් නිස්සංක පියවර 2ක් පසුබැස 13 වැනි ස්ථානයට පත්ව තිබිණි. කුසල් මෙන්ඩිස් පියවර 3ක් ඉදිරියට ලඟා වෙමින් එක්දින පිතිකරුවන් අතර 21 වැනි ස්ථානය හිමිකරගෙන ඇත. 

ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී දැක්වූ දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයකි. එක්දින ජාත්‍ය්නතර ක්‍රිකට් තරග 2කින් යුත් මෙම තරගාවලිය තරග 2-0ක් ලෙසින් ශ්‍රී ලංකාව ජයගත් අතර එම ජයග්‍රහණයත් සමඟින් එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ද 5 වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.