ශ්‍රී ලංකා - ඕසටේ්‍රලියා ටෙස්ට් තරගාවලිය පැතුම් අනිද්දා තරගයට නැහැ

කමිඳුට සහ ධනංජයට සුවයි

International Cricket

74

ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අනිද්දා  (29දා) ආරම්භ වන ශ්‍රී ලංකා - ඕස්ටේ්‍රලියා පළමු ටෙස්ට් තරගය සඳහා එක් නොවන බව වාර්තා වේ.

ඒ අනුව දකුණත් පිතිකරු ඕෂධ ප්‍රනාන්දු, දිමුත් කරුණාරත්න සමඟින් මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනු ඇති බව ද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට අදාළව පැවැති තෙවැනි එක්දින තරගය අතරතුර පැතුම් නිස්සංක පාදයේ සහ පිටකොන්ද ආශ්‍රිත ආබාධයට ගොදුරු විය. ඒ අනුව මේ වන විටත් එම ආබාධයට අදාළව පුනුරුත්ථාපන කටයුතු සඳහා පැතුම් නිස්සංක යොමු වී ඇති බව ද දැනගන්නට ඇත. එසේම ඕස්ටේ්‍රලියාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට අදාළව නම් කළ ශ්‍රී ලංකා සංචිතයට පැතුම් නිස්සංක ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තම පුහුණුවීම් ආරම්භ කළ ද පැතුම් නිස්සංක ඊට එක් කර නොමැති වීමද විශේෂත්වයකි. එනම් පැතුම්ගේ ආබාධය මෙතෙක් පූර්ණ සුවය ලබා නොතිබීම ඊට හේතුවයි.
කෙසේ වෙතත් එළැඹෙන පෙබරවාරි මස 6 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති ශ්‍රී ලංකා - ඕස්ටේ්‍රලියා දෙවැනි ටෙස්ට් තරගය සඳහා පැතුම් එක් වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාරීත්වය විශ්වාසය පළ කරයි.
මේ අතර පසුගියදා පැවැති අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලිය අතරතුර ආබාධයන්ට ගොදුරු වූ ශ්‍රී ලංකා ටෙස්ට් නායක සහ කමිඳු මෙන්ඩිස් හෙට තරගයට එක්වනු ඇති බව ද සඳහන්ය. කමිඳු මෙන්ඩිස්, පසුගියදා පැවැති අන්තර් ක්‍රීඩා සමාජ තරගයකදී ඉහත සඳහන් කළ ආබාධයට ගොදුරුවිය. මෙම ආබාධය හේතුවෙන් මැහුම් කිහිපයක් යෙදීමට සිදුව තිබුණ ද කමිඳුගේ ආබාධය බරපතල නොවන බව ද දැනගන්නට ඇත. එස්.එස්.සී. සහ සී.සී.සී. කණ්ඩායම් අතර පැවැති අන්තර් ක්‍රීඩා සමාජ තරගයකදී උඩ පන්දුවක රැක ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී කමිඳු මෙම ආබාධයට ගොදුරුවී තිබිණි. එසේම ධනංජය ද සිල්වා පිටකොන්දේ ආබාධයකට ගොදුරු වී තිබුණේ ද අන්තර් ක්‍රීඩා සමාජ තරගයකදීය.
ඒ අනුව ඔවුන් දෙදෙනා මේ  වන විටත් කණ්ඩායම සමඟින් පුහුණු කටයුතු අරඹා තිබේ. එසේම ඔවුන් දෙදෙනාම හෙට ආරම්භ වන තරගය සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන බවද පැවැසේ. 
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට පෙරවරුවේ සිට පෙබරවාරි මස 2 වැනිදා දක්වා පැවැත්වේ. දෙවැනි තරගය පෙබරවාරි මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබේ. එම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබීම ද විශේෂත්වයකි.