දේශීය ක්‍රීඩකයින්ගේ කාර්ය සාධනය නංවන්න ක්‍රීඩා සමාජයන්ට ක්‍රිකට් ආයතනයෙන් උපකරණ කට්ටල

නව තාක්ෂණයෙන් යුතු ස්කින්ෆෝල්ඩ් කැලිපර යන්ත්‍ර වේගය මැනීමට

Other Sports

31

ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම වෙනුවෙන් දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම වෙනුවෙන් වන කැලිපරයක් සහ පන්දු යවන්නන්ගේ වේගය මැන බැලීම වෙනුවෙන් වන මිනුම් උපකරණ බෙදා දීමට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගනු ලැබීය.

අති නවීන තාක්ෂණයෙන් යුතුව එංගලන්තයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කර ඇති මෙම කාර්යය සාධනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් වන උපකරණ  හෙවත් ස්කින්ෆෝල්ඩ් කැලිපරය සහ වේගය මැන බැලීම වෙනුවෙන් වන උපකරණය ඩිජිටල් දර්ශන තලයකින් සමන්විත වේ.
ඒ අනුව පළමු පෙළ තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩා සමාජ 17 කට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින විශිෂ්ඨතා මධ්‍යස්ථාන 4 වෙනුවෙන් මෙම උපකරණ බෙදාදීම සිදුකෙරිණ. මෙම කැලිපරය හරහා ක්‍රීඩා සමාජවල අභ්‍යාසකවරයාට ක්‍රීඩකයින්ගේ චර්මයේ මේධ ඝණත්වය මෙන්ම ශරීරයේ මේද ප්‍රතිශතය පිළිබඳ නිශ්චිත තක්සේරුවක් ලබා ගැනීමේ හැකියාව පවතිනු ඇත.
තාක්ෂණික මෙවලමක් වන මෙම කැලිපරය හරහා ක්‍රීඩකයින්ගේ යෝග්‍යතා ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට මෙන්ම ශරීරයේ සංයුතිය කෙසේ විය යුතුද යන්න තක්සේරු කිරීමට උපකාරී වනවා සේම ඒ හරහා වර්තමානයේ පවතින තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ක්‍රීඩකයින්ට සිය උපරිම ශාරීරික තත්ත්වය පවත්වාගෙන යෑමේ හැකියාව සහතික කෙරෙනු ඇත.
එම උපකරණයට අමතරව පන්දුවේ වේගය මනිනු ලබන අපකරණය හරහා ක්‍රීඩා සමාජවලට සිය වේග පන්දු යවන්නන්ගේ මෙන්ම දඟ පන්දු යවන්නන්ගේද වේගය කොපමණද යන්න සිය ක්‍රීඩා සමාජයේ පුහුණුවීම් අතරතුරදීම මැන බැලීමේ හැකියාව උදාවනු ඇත.
මෙම උපකරණ බෙදාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැති විශේෂ උත්සවයකදී බෙදා දෙන ලද අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු ආචාර්යය ජයන්ත ධර්මදාස, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, ක්‍රිකට් අධ්‍යක්ෂක ජෙරොම් ජයරත්න, ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න සහ පළමු පෙළ ක්‍රීඩා සමාජවල උපදේශක සහ කඳවුම්කරු වන ප්‍රොමෝද්‍ය වික්‍රමසිංහ යන මහත්වරු සහභාගිවූහ.
සී.සී.සී. කෝල්ට්ස්, හලාවත මේරියන්ස්, බී.ආර්.සී. එන්.සී.සී. රාගම, එස්. එස්. සී, මුවර්ස්, මීගමුව, ටැමිල් යුනියන්, බදුරලිය, පානදුර, බ්ලූම්ෆීල්ඩ්, කුරුණෑගල තරුණ, ඒස් කැපිටලන්, නුගේගොඩ, පොලිස් සහ මුවර්ස් යන ක්‍රීඩා සමාජවලට මෙම උපකරණ ලැබූ ක්‍රීඩා සමාජ බවට පත්විය.