2025 - "ක්‍රීඩා ශක්ති" ශිෂ්‍යත්ව ප්‍රදානය ඇරඹේ...

මුදලට විකිණෙන ක්‍රීඩකයෙක් නොව ආදරය, යහපත් ගතිගුණ සහිත ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් මෙරටට අවශ්‍යයි - ක්‍රීඩා ඇමති

Other Sports

1000

මුදලට විකිණෙන ක්‍රීඩකයෙක් නොව  ආදරය, යහපත් ගතිගුණ සහිත ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් මෙරටට අවශ්‍යයි - ක්‍රීඩා ඇමති

තහනම් උත්තේජක වැනි කෙටි මාර්ග වලට යොමුවෙමින් ලබාගන්නා ජයග්‍රහණ ඉතාම තාවකාලිකයි  - ක්‍රීඩා නියෝජ්‍ය ඇමති 

2025 - ක්‍රීඩා ශක්ති වැඩසටහනට අනුව ජාතික කනිෂ්ඨ මට්ටමේ තරගවලදී ඉහල දක්ෂතා දක්වා ඇති, තෝරාගත් ක්‍රීඩාවන් 21 ක ක්‍රීඩා පුහුණුවේ නියැලෙන වයස අවුරුදු 18 සිට 20 දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 900 ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් ඇත. 

එහි මූලික අදියර වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික ප්‍රමාණයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, අද (මැයි 28) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, මෙරට ක්‍රීඩාවේ පැවැත්ම රඳා පවතින්නේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුව බවත්, මුදලට විකිණෙන ක්‍රීඩකයෙක් නොව  ආදරය, යහපත් ගතිගුණ සහිත ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් මෙරටට අවශ්‍ය බවත්, දක්ෂතාවය මත ක්‍රීඩක ක්‍රීඩකාවන්ට ඉදිරියට යාමට අවශ්‍ය පහසුකම් සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රජයක් ලෙස ගන්නා බවත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

තහනම් උත්තේජක වැනි කෙටි මාර්ග වලට යොමුවෙමින් ජයග්‍රහණ ලබා ගැනීමට කටයුතු නොකරන ලෙසත්, එලෙස ලබාගන්නා ජයග්‍රහණ ඉතාම තාවකාලික බවත්, පුහුණුවීම් කටයුතු වලින් දක්ෂතා ඔපමට්ටම් කර ගනිමින් ජයග්‍රහණ ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය. 

වර්තමානයේදී අධ්‍යාපනය ලැබීමේ අවශ්‍යතාවය මත බොහෝ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ක්‍රීඩාවෙන් ඈත්වෙන බවත්, ක්‍රීඩාව සහ අධ්‍යාපනයට සම අවධානයක් ලබා දෙමින් ක්‍රීඩාවත් අධ්‍යාපනයත් අත් නොහැර ඉදිරියට පවත්වාගෙන යාමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටයුතු කළ යුතු බවත් පැවසූ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම ශිෂ්‍යත්වය මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවෙහි රැඳීමට යම් උද්දීපනයක් ලැබේ යැයි බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ය.