පිතිකරුවන් අවසානය දක්වා සටන් කළා - සනත් ජයසූරිය

දකුණු අප්‍රිකාව සමඟ දෙවැනි ටෙස්ට් තරගයෙන් පරාජයට පත් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ සනත් ජයසූරියගේ අදහස්.

International Cricket

88

දකුණු අප්‍රිකාව සමඟින් පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ද ලකුණු 109කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර එම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පැවැසූවේ ශ්‍රී ලංකා කණ්ඩායම මීට වඩා හොඳින් ක්‍රීඩා කළ යුතුව තිබූ බවයි. දකුණු අප්‍රිකානු සංචාරයෙන් කණ්ඩායමට ලබා ගත හැකි ධනාත්මක කරුණු මොනවාද යනුවෙන් යොමු වූ පැනයකට මෙලෙස පිළිතුරු ලබා දුන් ජයසූරිය ‘මෙම තරගයේදී පන්දු යවන්නන් හොඳින් ක්‍රීඩා කළා. දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ අවසන් පිතිකරුවන් යුගළයට ලකුණු 40ක් හෝ 50ක් ලබා දීම හැර පන්දු යවන්නන් හොඳින් තම කාර්යය ඉටු කළා. කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරයේදීත් පන්දු යවන්නන් හොඳින් පන්දු යැවුවා, සමහර තැන් වලදී අඩුපාඩු තිබුණා. නමුත් සමස්තයක් ලෙස පන්දු යවන්නන් තම උපරිමය ඉටු කළා. මෙම තරගාවලියේ පැවැති වඩාත් ධනාත්මක කරුණ එයයි. නමුත් පන්දු යවන්නන් හොඳින් කළත්, පිතිකරණයේ අඩු පාඩු තිබුණා. පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබා ගත්තත් අවාසනාවන්ත ලෙස දැවී යෑම ගැන කණගාටුයි. පළමු තරගයේදී චන්දිමාල් ලකුණු 80ක් ලබා ගත්තා, මෙම තරගයේ පැතුම් ලකුණු 89ක් ලබා ගත්තා. නමුත් එම ඉනිම් ලකුණු 100ක් ඉක්මවූ විශාල ඉනිම් විය යුතුයි. ඒ අනුව තරගාවලිය ගැන මධ්‍යස්ථ හැඟීමක් තිබෙනවා. මීට වඩා හොඳින් කරන්න තිබුණා.’ යනුවෙන් පැවැසීය. මෙම දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වැරදුනු ස්ථානය ගැන මෙලෙස අදහස් දැක්වූ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුවා ‘පොඩි ‘සෙෂන්ස්‘ වලින් තමයි තරගය ගිළිහී ගියේ. දකුණු අප්‍රිකාවේ කඩුලු 8ක් දවා ගත්තායින් පසුව ලකුණූ 40ක් පමණ අපෙන් ගියා. ඒත් සමඟින් අපි හොඳ ආරම්භයක් ලබා ගෙන හොඳ තත්ත්වයක සිටියදී තෙවැනි දිනයේ උදෑසන කඩුලු 5ක් දැවී ගියා. ලකුණු 260කට කඩුලු 3ක් තිබියදී අපිට ලොකු ‘ලීඩ්’ එකක් ගන්න තිබුණා. ඒ අනුව තෙවැනි දිනයේ උදෑසන තරගය අපෙන් ගිළිහී ගියා. ඉන් අනතුරුව සිවු වැනි දිනයේ උදෑසන අපි යළිත් තරගයට පිවිසියත් අවසන් පිතිකරුවන්ට ලකුණු 25ක් හෝ 30ක් ලබා දුන්නා. එසේම දෙවැනි ඉනිමේ පිතිකරණයේ යෙදෙද්දී සිවු වැනි දිනයේ සවස කඩුලු 2ක් වැඩිපුර දැවී ගියා. එසේ නොවී පස්වැනි දවසේ උදෑසන දක්වා එම කඩුලු රැකගත හැකි වුණා නම් අපේ පිතිකරණ ලැයිස්තුවත් සමඟින් මීට වඩා ඉදිරියට යන්න තිබුණා. එවන් තැන් කිහිපයකින් අපගෙන් තරගය ගිළිහී ගියා. ඒ අනුව අවසන් ප්‍රතිඵලය ගැන කණගාටුයි. එසේම පිතිකරුවන් සෑම විට ලබා ගන්නා ආරම්භය ලකුණු 100ක් දක්වා ගෙනයා යුතුයි. මෙම තණතීරු අභියෝගාත්මක වුවත් පිතිකරුවන් ඊට හොඳින් මුහුණදුන්නා. විශේෂයෙන් පිතිකරුවන් දෙදෙනකු මෙම තරගාවලියේදී ශතක 2ක් වාර්තා කළ යුතුව තිබුණා. එය සිදු වුණේ නැහැ. ලකුණු 80 ඒවා පමණයි ගත්තේ.’ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ගේ දස්කම් ගැන ද මෙහිදී අදහස් දැක්වූ ජයසූරිය ‘ඔවුන්ගේ දස්කම් ගැන ඔවුන්ම තේරුම්ගත යුතුයි. අපි ඒ ගැන කථා කළා. යම් දායකත්වයක් ලබා දුන්නත් එය ප්‍රමාණවත් නොවන බව ඔවුන්ටත් තේරුම් යනවා ඇති. පිතිකරණ ලැයිස්තුවක් ලෙස මීට වඩා පොඩි උත්සාහයක් ගත්තා නම් මෙම තරගාවලියේ ප්‍රතිඵලයේ වෙනසක් සිදු කරන්න තිබුණා.’ යනුවෙන් පැවැසීය. මේ අතර ඉදිරියේ දී ඕස්ටේ්‍රලියාව සමඟින් පැවැත්වීමට නියමිතව ඇති ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුවා ‘ඕස්ටේ්‍රලියාව සමඟින් ටෙස්ට් තරග දෙක පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදීයි. අපි අපේ ශක්තිය ගැන දන්නවා. ඉතාමත් අභියෝගාත්මක තරග දෙකක්. එම නිසා අපිට හොඳින් ක්‍රීඩා කිරීමට සිදු වෙනවා. අපි දන්නවා මෙහිදී අපිට වැරදුනු තැන්. ඒ ගැන පිතිකරුවන් සහ පන්දු යවන්නන් සමඟින් අපි කථා කළා. පසුව මීටත් වඩා කථා කරනවා. නමුත් මම හිතන්නේ පිතිකරුවන් ලෙස අපි මීටවඩා හොඳින් ක්‍රීඩා කළ යුතුයි. ලකුණු ලබා ගැනීමයි වැදගත්. එවිට අපිට හොඳ අවස්ථාවක් ලැබෙනවා. මෙම තරගයේදී අවසන් දිනය දක්වාම අපේ පිතිකරුවන් තරගය අතහැරියේ නැහැ. ඒ ගැන මම සතුටුයි. අපි දකුණු අප්‍රිකානුවන් ලකුණු 300ක් තුළ දවා ගත්තා. අපි ලකුණු 300ක් ලබා ගත්තා. යළිත් ඔවුන්ව ලකුණු 300 සීමාවේ රඳවා ගත්තා. අපි ලකුණු 348ක් හඹා ගියත් ලකුනු 238කට සීමා වුණා. අපි තරගයේ සිටියත් යම් ස්ථාන කිහිපයකදී අපෙන් තරගය ගිළිහී ගියා. අපිට එම ස්ථාන නිවැරදි කර ගත යුතුයි. එසේ නිවැරදි කර ගතහොත් ඕසටේ්‍රලියානු තරගාවලියේදී අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා.’ ලෙසින් සඳහන් කළේය.