කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රීඩා පදනම විසින් 23 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ කුසලාන ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාතර රාහුල ආදි ශිෂ්‍ය පිල සමත්විය.
කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන්ගේ පුරෝගාමීත්වය යටතේ මෙරට ස්ථාපිත කළ කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ල මහින්ද, කොළඹ නාලන්දා, අම්බලන්ගොඩ ධර්මාශෝක, මාතර රාහුල, පන්නිපිටිය ධර්මපාල සහ කුරුණෑගල මලියදේව යන බෞද්ධ පාසල් වල ආදි ශිෂ්‍ය කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති මෙම
තරගාවලියේ සත්කාරකත්වය කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මලියදේව ආදි ශිෂ්‍ය සංගමය වෙත හිමිව තිබිණි.
පළමු වටය කාණ්ඩ 2ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වීමට සැළසුම් කොට තිබුණද, තරගාවලියේ ආරම්භක දිනය වූ සෙනසුරාදා (14) දින ඇතිවූ අධික වර්ෂාව නිසා එදින පැවැත්වීමට නියමිතව තිබූ පළමු වටයේ තරග රැසක් ක්‍රීඩා කිරීමට නොහැකිවීම හේතුවෙන් කාණ්ඩ 2 ශූරයින්වූ ‘ඒ’ කාණ්ඩයේ අපරාජිත මාතර රාහුල විද්‍යාලය සහ ‘බී’ කාණ්ඩයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය
තම කණ්ඩායම්වල ශූරයන් ලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූහ.
අවසන් තරගයේදී ආදි රාහුලයන් හමුවේ මහා ක්‍රිකට් තරගයේදී ප්‍රතිවාදියා වූ ආදි ධර්මපාල පිල ලකුණු 19කින් පැරදවීය. ආදි රාහුලයන් පන්දුවාර 8කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 69ක් රැස් කළ අතර අශෝක සිරිමාන්න ලකුණු 30ක් රැස් කළේය. ආදි ධර්මපාල පිල පන්දුවාර 8තුලදී ලකුණු 50කට සීමා කිරීමට ආදි රාහුල පන්දු යවන්නන් සමත්වූහ. සමන් විජේරත්න ලකුණු 22ක් රැස් කළ අතර,භාරත් අබේගුණරත්න ලකුණු 5කට කඩුලු 3ක් දවා ගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ මීට කලකට පෙර පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ප්‍රවීන ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියට එක්ව සිටියහ.
අවසන් තරගය
ආදි රාහුල පිල: 69/2 (පන්දුවාර 8) අශෝක සිරිමාන්න 30
ආදි ධර්මපාල පිල: 50/5 (පන්දුවාර 8) සමන් විජේරත්න 22, භාරත් අබේගුණරත්න 5/3
සම්මාන
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා - චමිල ජයසිංහ (ආදි ධර්මපාල)
තරගාවලියේ දක්ෂතම පිතිකරු - හිරන්ත විජේසිංහ (ආදි මහින්ද)
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා - ප්‍රියන්ත උයනහේවා (ආදි රාහුල)
තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා - රොෂාන් වික්‍රමාරච්චි (ආදි මලියදේව)
අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා - භාරත් අබේගුණරත්න (ආදි රාහුල)
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුනිල් තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ජය සංකේත ප්රදානය සිදු කෙරුණු අතර, කර්නල් හෙන්රි
ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රීඩා පදනමේ සභාපති බිමල් විජේසිංහ, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති සමන් ජයසිංහ, තරගාවලි කමිටුවේ සභාපති චන්දන ගුරුගේ ඇතුළු මහත්වරුන්
මෙම ජය සංකේත ප්‍රදානයට එක්ව සිටියහ.