97 වැනි බොක්සිං ජාතික ශූරතාව අනිද්දා සිට ගාලු මුවදොරදී

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන 97 වන ජාතික බොක්සිං ශූරතාවලිය

Other Sports

11

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන 97 වන ජාතික බොක්සිං ශූරතාවලිය, අනිද්දා (23දා) සිට 26 වනදා දක්වා කොළඹ ගාලු‍ මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන්නේ වයස අවුරුදු 19 ත් 40 ත් අතර වන, ආධුනික, අතරමැදි, ස්ටැබ්ස් පළිහ සහ ජාතික කණිෂ්ඨ යන තරගාවලිවලදී ජයග්‍රහණ ලැබූ විශේෂ තරගකරුවන්ය. ඒ අනුව අනිද්දා දිනයේ සිට 25 වනදා දක්වා මූලික තරග පැවැත්වෙන අතර, 26 වනදා අවසන් මහ තරගයන් පැවැත්වේ.
මෙවර තරගාවලියේදී, පිරිමි අංශයේ බර පංති 13ක් යටතේද, කාන්තා අංශයේ බර පංති 12ක් යටතේද තරඟ පැවැත්වේ. තරඟවල ජයග්‍රාහකයින්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර, විශේෂ සම්මාන ලෙස දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම පරාජිතයා, දක්ෂතම ක්‍රීඩිකාව සහ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව සඳහා කුසාලන පිරිනැමෙනු ඇත.
තරගාවලියේදී පිරිමි ශූරතාව දිනාගන්නා කණ්ඩායමට සාජන් සෙල්ලදොරයි අනුස්මරණ කුසලානද, කාන්තා ශූරතාව දිනාගන්නා කණ්ඩායමට නීවා ඇඹුල්දෙණිය අභියෝග කුසලානද පිරිනැමෙනු ඇත. එමෙන්ම, ඉකුත් වසරේ (2024) වඩාත් සාර්ථක ක්‍රීඩා සමාජයට මුත්තයියා ෂේවියර් අනුස්මරණ කුසලාන පිරිනමනු ඇත.
2024 වසරේදී පැවැති ජාතික බොක්සිං ශූරතාවලියේදී, දක්ෂතම ක්‍රීඩකයා ලෙස යුද හමුදා ක්‍රීඩක චමිල් පත්මසිරි සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදා ක්‍රීඩිකා ඉෂාරා තුෂාරි සම්මාන දිනා ගැනීමට සමත් විය.
මෙම වසරේදී ක්‍රීඩා සමාජ 20ක් පමණ නියෝජනය කරමින් තරගාවලියට සහභාගිවන්නේ තරගකරුවන් 125ක් පමණය.