බංග්ලාදේශය ශක්තිමත් ස්ථානයක

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය

International Cricket

1000

 ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දියාරු පන්දු රැකීම හමුවේ බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය වූ අද (18දා) අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන අවස්ථාව වන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය පන්දුවාර 151ක් අවසානයේ කඩුලු 9කට ලකුණු 484ක් ලබා ශක්තිමත් ස්ථානයක පසු විය. 

මෙම තරගයේ දෙවැනි දිනය වූ ඊයේ දිනය ආරම්භ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3කට ලකුණු 292ක් ලබා සිටියේය. කෙසේ වෙතත් දිනයේ යොමු කළ 6 වැනි පන්දුවාරයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ සුපිරි පන්දු රැකීම හමුවේ නජ්මුල් හුසේන් ශැන්ටෝ ලකුණු 148කට දවා ගැනීමට අසිත ප්‍රනාන්දුට හැකියාව ලැබිණි. 

ඒ වන විට ශැන්ටෝ සහ මුෂ්ෆිකර් රහීම් එක්ව බංග්ලාදේශයේ සිවු වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 264ක් එක් කර තිබිණි. එය වාර්තා අතරට එක්වූයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිවු වැනි කඩුල්ලේ ඉහළම සම්බන්ධතාවය ලෙසිනි. 

ශැන්ටෝගේ දැවී යෑමෙන් අනතුරුව මුෂ්ෆිකර්ට එක්වූ ලිතන් දාස්, බංග්ලාදේශයේ 5 වැනි කඩුල්ලට වේගවත් ලකුණු 149ක සම්බන්ධතාවයක් ගොඩනැගීම කැපී පෙනිණි. එහිදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිළිහී ගිය උඩපන්දු කිහිපයක් සහ දුවද්දී දැවී යෑම් වල වාසිය ගත් මුෂ්ෆිකර් සිය ටෙස්ට් දිවියේ 12 වැනි ශතකය රැස්කළ අතර ලිතන් දාස් ද ටෙස්ට් දිවියේ 18 වැනි අර්ධ ශතකය රැස්කරගැනීමට සමත් විය.

දිවා ආහාරයෙන් අනතුරුව බංග්ලාදේශ ඉනිමේ 130 වැනි පන්දුවාරයේදී වර්ෂාව හේතුවෙන් තරගය නවතා දැමීමට සිදු විය. පස්වරු 4.30ට පමණ යළිත් තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව 458ක් ලෙසින් සටහන් වෙද්දී ලකුණු 163ක් රැස්කරගෙන සිටි මුෂ්ෆිකර් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගැනීමට අසිත ප්‍රනාන්දුට හැකියාව ලැබිණි. තරිඳු රත්නායක යොමු කළ පන්දුවකට ‘රිවස් ස්විප්’ පහරක් එල්ල කිරීමට උත්සාහ කළ ලිතන් දාස්, කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් ලබා දෙමින් 6 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වූයේ ලකුණු 90ක් ලබා සිටියදීය. ජේකර් අලී ලකුණු 8කට දවා ගැනීමට මිලාන් රත්නායකට හැකි විය. නැවතත් ක්‍රියාත්මක වූ මිලාන්, නයිජුල් ඉස්ලාම් ලකුණු 6කට දවා ගැනීමෙන් අනතුරුව නයීම් හසන් ද ලකුණු 11කට දවා ගත්තේය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු සහ තරිදු රත්නායක කඩුලු 3 බැගින් දවා ගැනීම කැපී පෙනිණි. එසේ වුවත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දඟ පන්දු තුරුම්පුව වන ප්‍රබාත් ජයසූරිය මෙහිදී පන්දුවාර 48ක් යොමු කරමින් ලකුණු 154ක් ලබා දුන්න ද කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වීම කැපී පෙනිණි. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයා දෙවක් නොසිතාම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශයේ පළමු කඩුල්ල ලෙස අනාමුල් හක් ලකුණු නොලබා දැවී ගියේය. දෙවැනි කඩුල්ල බවට පත් වූ ශද්මන් ඉස්ලාම් ලකුණු 14ක් ලබා ගත් අතර මොමිනුල් හක්ට ද රැස්කරගත හැකි වූයේ ලකුණු 29ක් පමණි. 

ලකුණු සාරාංශ 

බංග්ලාදේශ පළමු ඉනිම - 484/9 (151) (මොමිනුල් හක් 29, ශද්මන් ඉස්ලාම් 14, නජ්මුල් හුසේන් ශැන්ටෝ 148, මුෂ්ෆිකර් රහීම් 163, ලිතන් දාස් 90, තරිඳු රත්නායක 196/3, අසිත ප්‍රනාන්දු 80/3, මිලාන් රත්නායක 38/3, ප්‍රභාත් ජයසූරිය 154/0)