බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගය ඊයේ (25දා) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. ඒ අනුව ඊයේ පළමු දිනය සඳහා තරගය නතර කරන අවස්ථාව වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය පන්දුවාර 71කදී කඩුලු 8කට ලකුණු 219ක් ලබා සිටියේය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් ශැන්ටෝ පළමුව ලකුණු රැස්කිරීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් යුගළය වූ ශද්මන් ඉස්ලාම් සහ අනාමුල් හක්ට පළමු කඩුල්ලට එක් කළ හැකි වූයේ ලකුණු 5ක් පමණි. එහිදී අනාමුල් හක් ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට අසිත ප්‍රනාන්දුට හැකියාව ලැබිණි. කෙසේ වෙතත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38ක් එක් කිරීමට ශද්මන් ඉස්ලාම් සහ මොමිනුල් හක්ට හැකි විය. ලකුණු 21ක් ලබා සිටි මොමිනුල්, ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා යොමු කළ පළමු පන්දුවාරයේදීම පවන් රත්නායක අතට උඩ පන්දුවක් ලබා දෙමින් දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
කෙසේ වෙතත් යළිත් නායක නජ්මුල් හුසේන් ශැන්ටෝට එක්වූ ශද්මන්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ද එක් කළ ලකුණු සංඛ්‍යාව 31කි. ශැන්ටෝ ලකුණු 7කට සීමා කිරීමට විශ්ව ප්‍රනාන්දුට හැකිවූ අතර සිවු වැනි කඩුල්ල ලෙස ශද්මන් ඉස්ලාම් ලකුණු 46කට දවා ගැනීමට තරිඳු රත්නායකට හැකියාව ලැබිණි.
නමුත් දිවා ආහාරයෙන් අනතුරුව පස්වරු 1.30ට පමණ බංග්ලාදේශ ඉනිමේ 33 වැනි පන්දුවාරයේදී ඇදහැළුණු වර්ශාව හේතුවෙන් තරගය තාවකාලිකව නවතා දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. ඒ වන විට බංග්ලාදේශය කඩුලු 4කට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 90කි.
ඉන් අනතුරුව පස්වරු 2.55 පමණ යළිත් තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව යැවූ දෙවැනි පන්දුවාරයේදීම මුෂ්ෆිකර් රහීම්ගේ පහසු උඩ පන්දුවක් ලහිරු උදාර අතින් ගිළිහී ගියේය. ඉන් උපරිම ප්‍රයෝජනය ගත් මුෂ්ෆිකර් සහ ලිතන් දාස් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක් එක් කිරීම කැපී පෙනිණි. කෙසේ වෙත් සොනාල් දිනූෂ යැවූ දෙවැනි පන්දුවාරයේදීම ලකුණු 34ක් රැස්කරගෙන සිටි ලිතන් දාස් බංග්ලාදේශයේ 5 වැනි කඩුල්ල ලෙසින් දවා ගත් අතරට ඒ අවස්ථාව වන විට බංග්ලාදේශ ලකුණු පුවරුව 143ක් ලෙසින් දැක්විණි. යළිත් ක්‍රියාත්මක වූ සොනාල්, ලකුණු 35ක් රැස්කරගෙන සිටි මුෂ්ෆිකර් රහීම් දවා ගත්තේ බංග්ලාදේශයේ 6 වැනි කඩුල්ල ලෙසිනි. මෙහෙදි හසන් මිරාස් ලකුණු 31ක් ලබා සිටියදී ස්ලිප්හි පන්දු රකිමින් සිටි කමිදු මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දෙමින් 7 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ සොනාල් දිනූෂ කඩුලු 2 බැගින් දවා ගනිද්දී තරිදු රත්නායක සහ ධනංජය ද සිල්වා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
මේ අතර මෙම තරගයේදී නවක ක්‍රීඩක සොනාල් දිනූෂ ටෙස්ට් වරම් හිමිකර ගත්තේ ශ්‍රී ලංකාවේ 170 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙසිනි.
ලකුණු සාරාංශය
බංග්ලාදේශ පළමු ඉනිම - (මොමිනුල් හක් 21, ශද්මන් ඉස්ලාම් 46, නජ්මුල් හුසේන් ශැන්ටෝ 8, ලිතන් දාස් 34, මුෂ්ෆිකර් රහීම් 35, මෙහෙදි හසන් මිරාස් 31, අසිත ප්‍රනාන්දු 43/2, ධනංජය ද සිල්වා 15/1, තරිඳු රත්නායක 63/1, විශ්ව ප්‍රනාන්දු 35/2, සොනාල් දිනූෂ 22/2)