ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග 3කින් යුත් 20-20 තරගාවලිය සඳහා එක්වීම සදහා ශ්‍රී ලංකා 20-20කණ්ඩායම අද (29දා) අලුයම බංග්ලාදේශය බලා පිටත්ව ගියහ.
මෙම තරගාවලියේ සියලු තරග ජයගැනීම තම අපේක්ෂා කරන බව T20I නායක වනිදු හසරංග තම අදහස් දැක්වීය . “ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලානයට පෙර අපිට තිබෙන්නේ මෙම විස්සයි-20 තරගාවලිය පමණයි. එම නිසා මෙම තරගාවලිය හොඳින් ක්‍රීඩා කර තරග 3ම ජයගගෙන කණ්ඩායමක් ලෙස ලෝක කුසලානයට ඒ ආත්ම විශ්වාසය පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් ශ්‍රි ලංකාව සහ බංග්ලාදේශය සැසඳීමේදී අපි දන්නවා අපි කෙතරම් ඉහළින් ඉන්වාද කියා. අපගේ සුපුරුදු ක්‍රීඩා රටාවට ලඟා විය හැකි වුවහොත් අපිට ලෝකයේ ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකියි. එසේම කණ්ඩායමක් ලෙස සෑම අවස්ථාවකම අපි ඒ විශ්වාසය තබා ගත යුතුයි. අපි සෑම අවස්ථාවකම කණ්ඩායමක් ලෙස බලන්නේ ප්‍රෙක්ෂකයන් සතුටින් තැබීමට මෙන්ම රට ජයග්‍රහණය කරවන්නේ කෙසේද යන්නයි. ඒ අනුව කණ්ඩායමක් ලෙස අපිට හැකි උපරිමයෙන් ක්‍රීඩා කිරීම මෙහිදී බලාපොරොත්තුවයි.”
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ද තම අදහස් මෙසේ පැවැසීය. “මෙම තරගාවලියේදී හොදින් දස්කම් දැක්විය හැකි වෙතැයි මම සිතනවා. එසේම අපගේ පුහුණුවීම් වලදීත් පසුගිය තරගාවලිය ගැන සළකා බැලුවත් අපි හොඳ තැනක ඉන්නවා. එසේම මෙම තරගාවලියේදී 20-20, එක්දින සහ ටෙස්ට් යන ආකෘති සියල්ලටම මුහුණදිය යුතුයි. ඒ අනුව කණ්ඩායමේ බොහෝ දෙනෙක් බංග්ලාදේශයේ ක්‍රීඩා කර තිබෙන නිසා එහිදී හොඳින් දස්කම් අතරට පිවිසීමට හැකි වේ යැයි සිතනවා. එසේම පිතිකරුවන් සුපුරුදු රිද්මයට ලඟා වීම ගැන සතුටුයි.”
තවද බංග්ලාදේශ සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා කියා සිටියේ ඇෆ්ගනිස්තානය සමගින් නිමා වූ ටෙස්ට්තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරයට ද එක්වීමේ වැඩි ඉඩක් පවතින් බවයි.
මෙලෙස පිටත්ව ගිය ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක විවේක ගන්වා ඇත්තේ පාදයේ ආබාධය තවමත් සුව වී නොතිබීම හේතුවෙනි. එසේම පැතුම් වෙනුවට අවිෂ්ක ප්‍රනාන්දු දීර්ඝ කාලයකට පසුව ශ්‍රී ලංකා 20- 20 සංචිතයට එක් කර ඇත.
ඒ අනුව තරග තහනමකට ලක්ව සිටින නායක වනිදු හසරංග පළමු තරග දෙක සඳහා එක් නොවීම හේතුවෙන් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයැවීමේ වගකීම උප නායක චරිත් අසලංකට පවරා ඇති බවට ද අදහස් පල විය. පාදයේ ආබාධය හේතුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද මෙම තරග සංචාරයට එක් නොවීම කණගාටුවට කරුණක් වී ඇත
ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය අරඹමින් පැවැත්වෙන පළමු 20-20 ක්‍රිකට් තරගය එළැඹෙන 4 වැනිදා හිලෙට්හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත . දෙවැනි සහ තෙවැනි 20-20 තරග පිළිවෙලින් 6 වැනිදා සහ 9 වැනිදා පැවැත්වෙනු ඇත.
අනතුරුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය මෙම මස 13 වැනිදා ආරම්භ වේ. එහිදී පළමු තරගය 13 වැනිදා චැතගොම්හිදී දිවා රාත්‍රී තරගයක් ලෙසත් දෙවැනි තරගය 15 වැනිදා චැතගොම්හිදීම දිවා රාත්‍රී තරගයක් ලෙසත් පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් තෙවැනි සහ අවසන් එක්දින තරගය 18 වැනිදා චැතගොම්හිදීම පැවැත්වීමට නියමිතව ඇත්තේ දිවා තරගයක් ලෙසිනි.
තරග 2කින් යුත් ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය 22 වැනිදා ශිලෙට්හිදී ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙවැනි ටෙස්ට් තරගය 30 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත්තේ චැතගොම්හිදීය.
ශ්‍රී ලංකා සංචිතය - වනිදු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජිලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, දිල්ෂාන් මධුසංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ.
බංග්ලාදේශ සංචාරය පිලිබදව ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමජිකයන් දැක්වූ අදහස්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ තරගාවලිය ආරම්භ කිරීමට අද දිවයිනෙන් පිටත්ව යයි.
International Cricket