සිංහයන් බංගලි සමග අද පිටියට

සංචාරක ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ අතර පළමු විස්සයි විස්ස තරගය අද .

International Cricket

44

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය අරඹමින් පැවැත්වෙන පළමු 20යි 20 ක්‍රිකට් තරගය අද (4) පස්වරුවේ බංග්ලාදේශයේ ශිලෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර පවතී.
කණ්ඩායම් දෙකෙහිම  තත්ත්වයේ සමානාත්මතාවය හේතුවෙන් මෙම 20යි -20 තරගාවලිය වඩාත් තියුණු මුහුණුවරක් ගනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසා ඇත . ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුව මෙම අදහස් පළකර තිබුණේ පළමු 20යි -20 තරගයට පෙර ඊයේ (3දා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේ තම අදහස් දක්වමිනි.
තවදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මෙසේ කියා සිටියේය. “මට අනුව නම් මින් පෙර සිදු වූ සියල්ල මේ වන විට අතීතයට එක්වී හමාරයි. ඒ අනුව අපි මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ අනාගතය ගැන සැළසුම් සකස් කිරීමයි. එසේම ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි  -20 ලෝක කුසලානය වෙනුවෙන් අපි මේ වන විට සූදානම් වෙමින් සිටින පසුබිමක වඩාත් වැදගත් වන්නේ එයයි. ලෝකයේ සෑම රටක්ම මේ වන විටත් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් තමන්ගේ හොඳම සංචිත සූදානම් කරමින් ඔවුන්ට අත්දැකීම් ලබා දෙමින් සිටිනවා. එවන් තත්ත්වයක් හමුවේ මෙවන් තීරණාත්මක තරගාවලියකට මුහුණදීමට ශ්‍රී ලංකාවට අගනා අවස්ථාවක් ලැබී තිබෙනවා. එසේම කණ්ඩායම් දෙකේම ඉතා දක්ෂ ප්‍රභල ක්‍රීඩකයින් රැසක් සිටින නිසා ඉතා තියුණු තරගාවලියක් දැක බලා ගත හැකි වනු ඇති බව විශ්වාසයි”
කණ්ඩායමේ ඉදිරි සැළසුම් පිළිබඳව ද අදහස් දැක්වූ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා “මෙම තරගාවලියට පෙර අපි විශිෂ්ට ලෙස විස්සයි - 20 තරගාවලියක් නිමාවට පත් කළා. ඒ අනුව මෙම තරගාවලියේදීත් අපගේ තරග සැළසුම් තවදුරටත් දියුණු කර ගැනීමටත්, කණ්ඩායමක් ලෙස තවදුරටත් දියුණුවක් ලබා ගැනීමටත්, ඉදිරි කාලය දක්වාත් වඩාත් කැපවීමෙන් කටයුතු කිරීමටත් වගබලා ගත යුතුයි. එසේම ලෝක කුසලානයට යන ගමනේදී ශ්‍රී ලාංකික සළකුණට ආවේනික ක්‍රීඩා රටාව අනුගමනය කිරීම සිදු කළ යුතුයි. ඒ අනුව ලෝක කුසලානය ආසන්නයේ අප සතු උසස්ම ක්‍රීඩා විලාශය මෙහිදී අනුගමනය කළ යුතු බව මගේ හැඟීමයි.” ලෙස පවසා සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම් නයක වනිඳු හසරංගට පළමු තරග දෙක අහිමිව යෑම පිලිබදව  ද  අදහස් දැක්වූ ක්‍රිස් සිල්වර්වුඩ් කියා සිටියේ “වනිඳුට ලබා දී තිබෙන දඬුවම නිසා ඔහුට පළමු තරග දෙක අහිමිව යනවා. එසේ වුවත් අපිට ඊට මුහුණදී ඉදිරියට යා යුතුව තිබෙනවා. එසේම එය කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ට වටිනා අවස්ථාවක් සළසා දී තිබෙනවා ඔවුන්ගේ දස්කම් දැක්වීමට.” ලෙසයි.
කෙසේ වුවද පැතුම් නිස්සංකගේ සේවය කණ්ඩායමට අහිමි වීම කෙතරම් සුවිශාල පඩුවක් දැයි පැවසිය නොහැකි බව ද  ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු පවසා සිටියේය .“පැතුම් කණ්ඩායමට අහිමි වීම විශාල පාඩුවක්. එසේම පසුගිය මාස 8ක හෝ 9ක කාලය තුළ ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවන් අතර නිරන්තරයෙන් දස්කම් දක්වන්නෙක් බවට පැතුම් පත් වුණා. එසේම ආසන්න ඉතිහාසය තුළත් එක්දින තරග රටාවේදී මෙන්ම විස්සයි -20 තරග රටාව තුළත් මතකයේ රැඳෙන ඉනිම් කිහිපයක්ම දියත් කිරීමට ඔහුට හැකි වුණා. කෙසේ වෙතත් පැතුම් කණ්ඩායම සමඟින් නැවතත් එක්වීමට දිගු කාලයක් ගත නොවනු ඇති බවත් මම සිතනවා.” ලෙසින් ඔහු පවසා සිටියේය .
තරග තහනමකට මුහුණදී සිටින ශ්‍රී ලංකා 20යි - 20 නායක වනිඳු හසරංග වෙනුවට මෙම තරගයේ දී නායකත්වයේ වගකීම මැදපෙල පිතිකරු චරිත් අසලංකට ලබා දී ඇත.  මෙම තරගයේදී, දකුණත් ප්‍රවේගකාරී පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දුට ද අවස්ථාවක් හිමි වීමට වැඩි ඉඩක් පවතින බවද ආරංචිය මාර්ග ලැබී ඇත.
ඒ අනුව අද දින පැවැත්වෙන තරගයෙන් අනතුරුව දෙවැනි සහ තෙවැනි 20යි-20 තරග පිළිවෙලින් 6 වැනිදා සහ 9 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ ශිලෙට්හිදී වීම ද කැපී පෙනෙන විශේෂත්වයකි.
ශ්‍රී ලංකා සංචිතය - වනිදු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජිලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, දිල්ෂාන් මධුසංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ.