පරාජයට පිතිකරුවන් වගකිව යුතුයි - අසලංක

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව පැවැති 3 වන විස්සයි-20 තරගාවලිය

International Cricket

67

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව පැවැති විස්සයි-20 තරගාවලිය පෙරේදා (10දා) රාත්‍රියේ නිමාවට පත් වූයේ කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගනිමිනි. ඒ අනුව තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව කඩුලු 4කින් ජයගත් අතර දෙවැනි තරගයෙන් ලකුණු 5ක තියුණු ජයක් හිමි වූයේ නවසීලන්තයටයි. 

කෙසේ වෙතත් දෙවැනි තරගයේ පරාජයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා විස්සයි-20 නායක චරිත් අසලංක පැවැසූයේ දෙවැනි තරගයේ පරාජයට ශ්‍රී ලංකා පිතිකරුවන් සෘජුව වගකිව යුතු බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙස අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා ‘මෙම තරගයේදී ප්‍රධාන වශයෙන් නවසීලන්තයේ හොඳ පන්දු යැවීමත් දක්ෂ පන්දු රැකීමත් ජයග්‍රහණයට ඉවහල් වුණා. නමුත් මා ඇතුළුව අපගේ පළපුරුදු පිතිකරණ ලැයිස්තුව මීට වඩා සැළකිලිමත් විය යුතුව තිබූ බව මම සිතනවා. එසේම මෙම හඹා යෑම ආරම්භ කිරීමට පෙරත් අපි කථා වුණේ අඩු ලකුණු සංඛ්‍යාවක් වුවත් එය පහසුවට නොගෙන පිතිකරණයේ යෙදිය යුතු බවයි. නමුත් මෙවැනි දවස් තිබිය හැකියි. සියලු දේ අපි සිතන අයුරින් සිදු වෙන්නේ නැහැ. විශේෂයෙන් එක්දින හෝ විස්සයි-20 තරගයක අතිරේක ලකුණු හැකි තරම් අඩු කළ යුතුයි. නමුත් කළින් තරගයේදීත් අතිරේක ලකුණු ටිකක් වැඩි වුණා. මෙම තරගයේදීත් අපි අඩුවෙන් තියා ගන්න බලාපොරොත්තු වුණා. නමුත් කණ්ඩායමක් ලෙස මීට වඩා දෙයක් පන්දු යැවීමෙන් බලාපොරොත්තු විය යුතු නැහැ. එනම් විස්සයි-20 තරගයක ඕනෑම කණ්ඩායමක් ලකුණු 108කට සීමා කරනවා කියන්නේ ඉතාමත් හොඳ දෙයක්. ඒ අනුව මම දකින්නේ මම ඇතුළුව පිතිකරුවන් සියලුදෙනා පරාජයට සෘජුව වගකිව යුතුයි. කුසල් ජනිත්, මම සහ කමිඳු මෙන්ඩිස් දැවී ගිය අවස්ථාව තරගයේ තීරණාත්මකම අවස්ථාව ලෙස මම දකිනවා.’ යනුවෙන් පැවැසීය. 

මේ අතර පෙරේදා නිමා වූ දෙවැනි විස්සයි-20 තරගය අතරතුර ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පාදයේ ආබාධයකට ගොදුරු විය. මෙම මාධ්‍ය හමුවේ දී වනිඳු පිළිබඳව ද මෙසේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා. ‘එක්දින තරගාවලිය සඳහා වනිඳුගේ සහභාගිත්වය අවිනිෂ්චිතයි. මම හිතන්නේ නැහැ ඔහු එක්දින තරගාවලියට ක්‍රීඩා කරාවි කියා.’

කෙසේ වෙතත් පළමු තරගයේදී මෙන්ම දෙවැනි තරගයේදී ද නවසීලන්ත පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම හේතුවෙන් යම් අභියෝගාත්මක ලකුණු පුවරු නිර්මාණය කිරීමේ අවස්ථාව ඔවුන්ට උදා විය. ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් යොමු වූ පැනයකට මෙලෙස පිලිතුරු ලබා දුන් ශ්‍රී ලංකා නායකයා ‘මෙහිදී අපිට සිටින හොඳම පන්දු යවන්නන් යොදා ගත්තා. නමුත් දඹුල්ලේ ක්‍රීඩා කළ තරග වලදී පන්දුවේ තද ගතිය අඩු වෙන විට පිතිකරණය පහසු වෙන බව පෙනෙන්නට තිබුණා. එම නිසා පසුපෙළ පිතිකරුවන් හොඳින් පිතිකරණයේ යෙදෙනවා දකින්න හැකි වුණා.’ යනුවෙන් පැවැසීය. 

මෙම තරග සඳහා යොදා ගත් දඹුල්ල තණතීරුව පිළිබඳව යොමු වූ පැනයකට පිළිතුරු ලබා දුන් අසංක මෙලෙස පැවැසීය. ‘මෙය ලකුණු ලබා ගැනීමට අසීරු තණතීරුවක්. එසේම මෙවැනි තණතීරු වල ක්‍රීඩා කිරීම පිතිකරුවන්ට ඉතා අසීරුයි. ඒ අනුව අපි නිතරම කථා කරන්නේ නිවැරදි තීරණ ගත යුතුයි. මෙලෙසම එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව වැන රටවලදී අපිට ලැබෙන්නේ දෝලනය වන තණතීරුයි. ඒවායෙත් ලකුණු රැස්කිරීම අසීරුයි. එහිදී වේගපන්දු යවන්නන්ට මුහුණදීමට හො`ඳින් පිතිකරණයේ යෙදිය යුතුයි. එලෙසම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වැන රටවල ක්‍රීඩා කරද්දී දඟ පන්දු යවන්නන්ට හොඳින් මුහුණදීමට සූදාන ම් විය යුතුයි. ඒ අනුව ඕනෑම තත්ත්වයක් යටතේ ලකුණු ලබා ගැනීමට පිතිකරුවන් සූදානමින් පසුවිය යුතුයි.’ 

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්න්න සම්බන්ධයෙන් මෙහි දී අදහස් දක්වමින් අසලංක මෙලෙස පැවැසීය. ‘අපේ දඟ පන්දු යවන්නන් නවසීලන්ත පිලේ දඟ පන්දු යවන්නන්ට වඩා ඉතාමත් ශක්තිමත්. මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග, ශ්‍රේණිගත කිරීමේත් ඉතාමත් ඉහළින් ඉන්නවා. ඒ අනුව මම ඇතුළු කණ්ඩායම සෑම විටම විශ්වාස කරන්නේ අපේ ශක්තිය දඟ පන්දු යවන්නන් කියායි. ඊට සමගාමීව පිතිකරුවන්ට වැඩි වගකීමක් පැවරෙනවා. එනම් ශ්‍රී ලංකාවේ වැනි  දුෂ්කර තණතීරුවක වැඩි වගකීමකින් ලකුණු රැස්කිරීමට පිතිකරුවන් වග බලා ගත යුතුයි.’