නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 45ක පහසු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (13දා) රාත්‍රියේ සමත් විය. එසේම මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක්වූයේ නවසීලන්තය හමුවේ වසර 9කට පසුව ශ්‍රී ලංකාව ලද එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය ලෙසිනි.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේ පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකාව පන්දුවාර 49.2කදී කඩුලු 5කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 324කි. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 143ක් රැස්කළ අතර අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 100ක් ලබා ගත්තේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමේ 49වැනි පන්දුවාරයෙන් පසුව ක්‍රීඩාංගණය ආශ්‍රීතව පැවැති අධික වර්ෂාව හේතුවෙන් ‘ඩක්වර්ත් සහ ලුවිස්’ න්‍යායට අනුව නවසීලන්තයට ජයග්‍රහණය සඳහා පන්දුවාර 27ක දී ලකුණු 221ක ඉලක්කයක් හිමි විය. එසේ වුවත් පන්දුවාර 27ක් අවසානයේ කඩුලු 9කට රැස්කළ හැකි වූයේ ලකුණු 175ක් පමණි.
මේ අතර තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් කියා සිටියේ නායකත්වය ලැබීම නිසා තමන්ගේ පිතිකරණයේ යම් අසාර්ථකත්වයක් ඇති වූ බවයි. එහිදී ඒ පිළිබඳ වැඩිදුරටත් මෙසේ ද කරුණු දැක්වූ කුසල් මෙන්ඩිස් ‘ලෝක කුසලානයේදී මම සිතපු නැති අවස්ථාවකයි මට නායකත්වය ලැබුණේ. ඊට කළින් මම ලකුණු අතර සිටියා. පීඩනයක් තිබුණේ නැහැ කියන්න අමාරුයි. නායකත්වයක් දරණවා කියන්නේ ඕනෑම කෙනෙක්ට පීඩනයක් තිබෙනවා. නායකත්වය ලැබීම නිසා ලකුණු අතරට පැමිණෙන්න නොහැකි වුණා කියා කියන්නත් පුළුවන්.’
එසේම මෙහිදී තමන්ගේ ඉනිම ගැන ද මෙලෙස අදහස් දැක්වූ කුසල් ‘ශතකය ගැන සතුටු වෙනවා. කණ්ඩායමට මෙම තරගයේ දී ලොකු දෙයක් කරන්නට හැකි වීම ගැනත් සතුටුයි. පැතුම්ගේ කඩුල්ල වේලාසනින් දැවී ගිය පසුව අවිෂ්ක සමඟින් එක්ව කණ්ඩායමට අවශ්‍ය දේ ලබා දෙන්න හැකි වීම ගැන සතුටුයි.’ යනුවෙන් පැවැසීය.
එහිදී අවිෂ්කගේ පිතිකරණය ගැන යොමු වූ පැනයකට පිළිතුරු සැපැයූ කුසල් පැවැසූයේ මෙවැන්නකි. ‘අවිෂ්ක සාමාන්‍යයෙන් වේගපන්දු යවන්නන්ට එරෙහිව ඉක්මනින් ලකුණු රැස්කරනවා. නමුත් අපි සිතූ තරම් වේගපන්දුවට මෙම කඩුල්ලේ පහරදීම කරන්න බැහැ. ඒ අනුව ඉදිරියේදී අවිෂ්ක තම සුපුරුදු රිද්මයට ලඟා වනු ඇති බව මම සිතනවා. කෙසේ වෙතත් මෙම තරගයේ පන්දුවාර 10ක් 15ක් ගෙවෙද්දී ඔහුගේ සුපුරුදු රිද්මයට ලඟා වීමට ඔහුට හැකි වුණා. ඒ අනුව ඉදිරි තරග වලදීත් මීට වඩා හොඳින් අවිෂ්ක ක්‍රීඩා කරනු ඇතැයි මම සිතනවා.’
මේ අතර මෙම තරගයේ නවසීලන්ත ආරම්භක සම්බන්ධතාව බිඳ දැමීමට අනුගමනය කළ උපක්‍රමය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ කුසල් ‘ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් ඉතා හොඳින් ක්‍රීඩා කළත් අසිත පළමු පන්දුවාර කිහිපය ඉතා හොඳින් යොමු කළා. නමුත් දිල්ෂාන්ගෙන් ලකුණු යම් ප්‍රමාණයක් ඔවුන් ලබා ගත්තා. එහිදී අපි අනුගමනය කළ ක්‍රියාමාර්ගය වුණේ කඩුලු ලබා නොගත්තත්, ලකුණු ලබා ගැනීමේ වේගය හැකි තරම් අවම කරමින් පන්දු යැවීමට උත්සාහ කිරීමයි. මොකද පන්දුවාර 27කදී කණ්ඩායමක සියලුදෙනා දවා ගන්න බැහැ. එම නිසා අපි සැළසුම් කර තිබුණේ හැකි තරම් හතරේ හෝ හයේ පහර ලබා නොදී ඔවුන් පාලනය කිරීමයි. නමුත් මහීෂ් පැමිණ කඩුල් ලබා ගැනීමත් සමඟ තත්ත්වය වෙනස් වුණා.’
එසේම විස්සයි-20 තරගාවලිය හා සැසඳීමේදී මෙම තරගය සඳහා යොද ගත් ‘අපි පිතිතරණයේ යෙදෙද්දීට වඩා පින්නත් සමඟින් රාත්‍රියේ පිතිකරණය පහසු වුණා. එහිදී අපේ පන්දු යවන්නන්ට විශාල ගෞරවයක් අත් විය යුතුයි. පින්නත් සමඟින් ඔවුන් විශාල මහන්සියක් ගත්තා පන්දු යැවීමේදී.’