තෙවැනි තරගයේදී අඩු පාඩු හදා ගන්නවා - කුසල්

මැදපෙල අසාර්ථක බව අපි පිළිගත යුතුයි

International Cricket

73

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට අදාළව පැවැත් වෙන විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ද අවමන් සහගත පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට පෙරේදා (30දා) සිදු විය. කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරා කියා සිටියේ මැදපෙල පිතිකරුවන්ගේ අසාර්ථකත්වය පරාජයට හේතු වූ බවත් අඩු පාඩු නිවැරදි කර ගනිමින් තෙවැනි තරගය සඳහා පිවිසීමට අපේක්ෂා කරන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුසල් පැවැසූවේ මෙවැන්නකි. ‘මැදපෙල අසාර්ථක වීම මගින් විශාල බලපෑමක් එල්ල වෙනවා. නමුත් අපි සියලුදෙනා දන්නා කරුණක් තමයි, ඕනෑම පිතිකරුවෙකු ක්‍රීඩාංගණය වෙත යන්නේ තමන්ගේ උපරිමය කරන්නයි. අවාසනාවකට ඔවුන් අවධානමක් ලබා ගෙන එල්ල කළ පහරවල් උඩපන්දු බවට පත් වුණා. මටත් සිදු වුණේ එයයි. එසේ වුවත් එම අවස්ථාවේදී ලකුණු ලබා ගැනීමේ වේගය පවත්වා ගැනීම සඳහා අවධානමක් ලබා ගෙන පිතිකරණයේ යෙදිය යුතු වුණා. මැදපෙල පිතිකරුවන්ට බොහෝ අවස්ථා වල ලැබෙන්නේ අවසන් පන්දුවාර 4ක් හෝ 5ක් පමණයි. එවිට මැදපෙල පිතිකරුවන්ට අවධානමක් ගෙන පිතිකරණයේ යෙදීම කළ යුතු වෙනවා. නමුත් මැදපෙල අසාර්ථක බව අපි පිළිගන්න ඕන. නමුත් විස්සයි-20 තරගයක ස්ථාවර වීම සඳහා මැදපෙල පිතිකරුවන්ට වැඩි වේලාවක් ගන්න බැහැ. මුල් පෙල පිතිකරුවන්ට ස්ථාවර වීමට යම් කාලයක් ලැබෙනවා. එවිට ඔවුන් අවධානමක් ගෙන පහරවල් කරා යෑමට ඔවුන් උත්සාහ කරද්දී වැරදි සිදු වීමේ හැකියාව වැඩියි. කෙසේ වෙතත් අපගේ වැරදි හදාගෙන තෙවැනි තරගයට පිවිසීමට බලාපොරොත්තු වෙනවා.’

මෙහිදී තරග පරාජයට පත් වීම කණගාටුවට කරුණක් බව ද පැවැසූ කුසල් ජනිත් ‘කණ්ඩායමක් ලෙස තරග පැරදීමේදී දැඩි කණගාටුවකට පත් වෙනවා. මොකද සෑම අවස්ථාවකම අපි තරගයට එන්නේ දිනන්නයි. ඒ සෑම අවස්ථාවකම අපි උත්සාහ කරන්නේ තරග ජයගෙන අපගේ ජයග්‍රාහී රිද්මය පවත්වාගන්නයි. විශේෂයෙන් රටින් පිටට ඇවිත්, ජයගන්නවා කියන දේ අපේ ධනාත්මක මානසිකත්වයට ගොඩක් හොඳයි. අපි සෑම තරගයකට එන්නේ දිනන්න. නමුත් පැරදුනාම දුකයි. තරග පරාජයට පත්වීම කණගාටුදායකයි. සෑම අවස්ථාවකම ඕනෑම තරගයක් පරාජයට පත් වීම කණ්ඩායමක් ලෙස කණගාටුදායකයි. නමුත් ධනාත්මක කරුණු කිහිපයක් මෙහිදී දැකගත හැකියි. පිතිකරුවන් කිහිපදෙනෙකුම ආරම්භයන් ලබා ගත්තත් ඔවුන්ට තරගය අවසානය කරා රැගෙන යෑමට නොහැකි වුණා. තරග දෙකේදීම සිදු වුණේ එයයි. එම නිසා නැවතත් අපිට මූලික සිද්ධාන්ත ගැන අවධානය යොමු කරන්න වෙනවා. එලෙස තෙවැනි තරගය සඳහා සූදානම් වීම අපේ බලාපොරොත්තුවයි.’ යනුවෙන් පැවැසීය.
තෙවැනි තරගයට කණ්ඩායමක් ලෙස පවතින සූදානම ගැන ද මෙහිදී අදහස්දැක්වූ කුසල් කියා සිටියේ මෙවැන්නකි. ‘අපි අතින් සිදු වූ වැරදි අපි දන්නවා. අපේ ලකුණු අතර සිටි පිතිකරුවන් තරගය නිමා කිරීමට සෑම අවස්ථාවකම උත්සාහ කළා. නමුත් මැද පන්දුවාර කිහිපයේදී අපිට අවධානමක් ලබා ගෙන පිතිකරණයේ යෙදිය යුතුයි. ඊට හේතුව වන්නේ ලකුණු ලබා ගැනීමේ වේගය පවත්වාගැනීම සඳහා යම් අවධානමක් ගෙන පන්දුවාර කිහිපයක් ක්‍රීඩා කළ යුතු වීම හේතුවෙන්. ඒ අවස්ථාවේදීයි ගොඩක් කඩුලු දැවී ගියේ. අපි ඒ ගැන පිතිකරුවන් සියලුදෙනා කථා කරලා මීලඟ තරගයේදී එම අඩු පාඩුව නිවැරදි කරගන්න බලාපොරොත්තු වෙනවා.’ ලෙසින් පැවැසීය.
මේ අතර දෙවැනි තරගයේදී යොදා ගත් තණතීරුව පිළිබඳව කුසල් දැක්වූයේ මෙවන් අදහසකි. ‘පළමු තරගයට වඩා දෙවැනි තරගයේදී තණතීරුව පිතිකරණයට පහසුයි. එසේ වුවත් ලකුණු 180 අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක්. එසේම පන්දුවාර 15ක් පමණ වෙද්දීත් අපි නවසීලන්තය සමඟින් සම තැන සිටියා. නමුත් ඒ අවස්ථාවේදී අපි අවධානමක් ගත යුතුව තිබූ නිසා අපි අතින් සිදු වූ අඩුපාඩු හේතුවෙන් තරගය ඔවුන් වෙත ගියා.’
මෙම තරග දෙකෙහිදීම ශ්‍රී ලංකා පන්දු යැවීම අපේක්ෂිත තළයක තිබූ බව සිතන්නේද යනුවෙන් යොමු වූ පැනයකට මෙලෙස පිළිතුරු සැපැයූ කුසල්, ‘තරග දෙකේදීම පන්දු යවන්නන් හොඳින් පන්දු යැවූවා. නමුත් ඉතා උසස් ලෙස පන්දු යැවූ බව පැවැසිය නොහැකියි. නමුත් ඔවුන් හොඳින් පන්දු යැවූවා. විස්සයි-20 තරගයක, ඕනෑම පන්දු යවන්නකුට අසාර්ථක දවසක් බවට පත් විය හැකියි. නමුත් පොඩි අඩුපාඩු නිවැරදි කර ගත හොත් තෙවැනි තරගයේදී මෙම ලකුණු සංඛ්‍යාව මීට වඩා අඩු කර ගත හැකියි.’
මේ අතර පළමු තරගයේ දී මෙන්ම දෙවැනි තරගයේදීත් ජේකොබ් ඩෆී හමුවේ ශ්‍රී ලංකා පිතිකරණ බලෑණිය අසාර්ථක විය. ඒ අනුව ඔහු වෙනුවෙන් කුමන ආකාරයේ සැළසුමක් ක්‍රියාත්මක කළේද යනුවෙන් යොමු වූ පැනයට මෙලෙස පිළිතුරු සැපැයූ කුසල් ජනිත් ‘අපි ඔහුට කඩුලු ලබා නොදී ක්‍රීඩා කිරීමයි සැළසුම වූයේ. නමුත් අවසන් පන්දුවාර කිහිපයේදී ආරක්ෂාකාරීව ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් තුළ පන්දුවාරයකට ලකුණු 12ක් වැනි ප්‍රමාණයක් ලබා ගත යුතු වුණා. එහිදී පළමු පන්දු දෙක තුළ වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගෙන ඉතිරි පන්දු කිහිපයේදී එක් ලකුණ බැගින් ලබා ගැනීම සැළසුම් වුණා. එලෙස පළමු පන්දු කිහිපයේදී අවධානම ගෙන පහරවල් කරා යෑම නිසා කඩුලු දැවී ගියා. නමුත් මීලඟ තරගයේදී අපි සැළසුම් කළ යුත්තේ ඩෆීට කඩුලු ලබා නොදී ලකුණු 25ක් හෝ 30ක් ලබා ගන්නේ කෙසේද කියායි.’