ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණය හේතුවෙන් නවසීලන්ත කණ්ඩායම සමඟින් පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ලකුණු 113ක නින්දාසහගත පරාජයක් අත්විඳීමට ඊයේ (8දා) දිනයේදීත් ශ්‍රී ලංකාවට සිදු විය. ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0ක් ලෙසින් තරගාවලිය ජයගැනීමට නවසීලන්තයට හැකියාව ලැබිණි.
නවසීලන්තයේ හැමිල්ටන්හි සෙඩන් පාක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ආරම්භයට පෙර ඇදවැටුණු වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර 37කට සීමා කිරීමට තරග තීරකවරයා කටයුතු කළේය. ඒ අනුව කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා නවසීලන්තයට ආරාධනා කළේය.
ඒ අනුව නවසීලන්ත ලකුණු පුවරුව 31ක් ලෙසින් සටහන් වෙද්දී පළමු කඩුල්ල ලෙස විල් යංග් ලකුණු 16කට දවා ගැනීමට අසිත ප්‍රනාන්දුට හැකි වූ අතර දෙවැනි කඩුල්ල සඳහා වේගවත් ලකුණු 112ක් එක් කිරීමට රචින් රවින්ද්‍රා සහ මාක් චැප්මන්ට හැකි විය. මාක් චැප්මන් ලකුණු 62කට දෙවැනි කඩුල්ල බවට පත් වූ අතර තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ රචින් රවින්ද්‍රා ලකුණු 62ක් රැස්කර ගත්තේය.
ටොම් ලැතම් එක් ලකුණකට දුවද්දී දැවී ගියේය. ග්ලේන් පිලිප්ස් ලකුණු 22ක් රැස්කළ අතර නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 20කට පිටියෙන් ඉවත් විය. නේදන් ස්මිත් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට තීක්ෂණට හැකි විය.
ඩැරල් මිචෙල් ලකුණු 38කට දැවී ගියේ 8 වැනි කඩුල්ල ලෙසිනි.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 37කදී කඩුලු 9කට ලකුණු 255ක් රැස්කරගැනීම කැපී පෙනිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු ත්‍රිත්වයක් ද සමඟින් කඩුලු 4ක් දවා ගත් අතර වනිඳු හසරංග කඩුලු 2ක් බිඳහෙලීය. අසිත ප්‍රනාන්දු සහ ඒෂාන් මාලිංග අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් සිවු දෙනාම ලකුණු 22ක් තුළ ක්‍රීඩාගාරය වෙත පියනැගුවේ නවසීලන්තයට තවත් පහසු ජයග්‍රහණයක සේයාවක් දක්වමිනි. ඒ අනුව පැතුම් නිස්සංක එක් ලකුණකටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 2කටත් අවිෂ්ක ප්රනාන් දුලකුණු 10කටත් දැවී ගොස් තිබියදී අනවශ්‍ය ලකුණක් කරා දිවගිය චරිත් අසලංක ලකුණු 4කට දැවී ගියේය.
ඉන් අනතුරුව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක් එක් කිරීමට ජනිත් ලියනගේ සහ කමිඳු මෙන්ඩිස් සමත් විය. එසේ වුවත් ශ්‍රී ලංකාවේ සියළු බලාපොරොත්තු බොඳ කරමින් ජනිත් ලියනගේ ලකුණු 22කට දැවී ගියේය. දුවද්දී දැවී ගිය චමිඳු වික්‍රමසිංහට ලබා ගත හැකි වූයේ ලකුණු 17ක් පමණි. වනිඳු හසරංග එක් ලකුණකට දැවී ගිය අතර මහීෂ් තීක්ෂණ ලකුණු 6ක් රැස්කර ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවනේ යම් තරමකින් හෝ වගකීම් සහගත පිතිකරණයක නිරත වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 64ක් රැස්කරගත්තේ හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟිනි.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 30.2කදී ලකුණු 142කට සීමා විය.
නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී විල් ඕ’රොකි කඩුලු 3ක් දවා ගත් අතර ජේකොබ් ඩෆී කඩුලු 2ක් බිඳහෙලීය.
ලකුණු සාරාංශය
නවසීලන්තය - 255/9 (37) (රචින් රවින්ද්‍රා 79, මාක් චැප්මන් 62, ඩැරල් මිචෙල් 38, මහීෂ් තීක්ෂණ 44/4, වනිඳු හසරංග 39/2, අසිත ප්‍රනාන්දු 54/1, ඒෂාන් මාලිංග 54/1)
ශ්‍රී ලංකාව - 142 (30.2) (කමිඳු මෙන්ඩිස් 64, ජනිත් ලියනගේ 22, චමිඳු වික්‍රමසිංහ 17, අවිෂ්ක ප්‍රනාන්දු 10, විල් ඕ’රොකි 31/3, ජේකොබ් ඩෆී 30/2, මැට් හෙන්රි 19/1, නෙදන් ස්මිත් 34/1, මිචෙල් සැන්ට්නර් 14/1)