ලංකාවට සැනසිලිදායක ජයක්

13 වසරකට පසු ශ්‍රී ලංකාවට කුසල්ගෙන් විස්සයි-20 ශතකයක්

International Cricket

29

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය වෙනුවෙන් පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 7ක සැනසිලිදායක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද  (2දා) පෙරවරුවේ හැකියාව ලැබිණි. කෙසේ වෙතත් තරග 3කින් යුත් විස්සයි-20 තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් නවසීලන්තයට තරග 2-1ක් ලෙසින් තරගාවලියේ ජය හිමි විය.

නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායකයා පළමුව ලකුණු රැස්කිරීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.
කෙසේ වෙතත් මෙවර ශ්‍රී ලංකා ආරම්භක සම්බන්ධතාව ලකුණු 24කට සීමා කරමින් පැතුම් නිස්සංක ලකුනු 14කට දවා ගැනීමට මැට් හෙන්රි සමත් විය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ද කුසල් ජනත්ට සහ කුසල් මෙන්ඩිස්ට එක් කළ හැකි වූයේ ලකුණූ 18ක් පමණි. ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව 42ක් වෙද්දී කුසල් මෙන්ඩිස් ද ලකුණු 22කට පිටියෙන් ඉවත් විය. අවිෂ්ක ප්‍රනාන්දුට මෙහිදී ද රැස්කළ හැකි වූයේ ලකුණු 17ක් පමණි.
එම දැවී යෑමෙන් අනතුරුව කුසල් ජනිත්ට එක් වූ නායක චරිත් අසලංක, ශ්‍රී ලංකා සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45කදී ලකුණු 100ක් එක් කිරීම කැපී පෙනිණි. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ අසලංක, පන්දු 24කදී හතරේ පහරක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 46ක් රැස්කර ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිමේ බර කරට ගත් කුසල් ජනිත් පන්දු 46කදී ලකුණු 101ක් රැස්කිරීම කැපී පෙනිණි. කුසල්ගේ ඉනිම හතරේ පහර 13කින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය. මෙය කුසල් ජනතිත්ගේ විස්සයි-20 දිවියේ හොඳම ඉනිම වූ අතර මෙම ශතකයත් සමඟින් කුසල් ඉතිහාසයට එක් වූයේ ජාත්‍යන්තර විස්සයි-20 තරගයක ශ්‍රී ලංකාව වෙනුවනේ ශතකයක් වාර්තා කළ තෙවැනි පිතිකරු ලෙසිනි. එසේම ශ්‍රී ලංකා පිතිකරුවෙකු විස්සයි-20 ශතකයක් වාර්තා කළේ වසර 13කට පසුව වීම ද කැපී පෙනිණි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 218කි.
එම අභියෝගාත්මක ඉලක්කය හඹා ගිය නවසීලන්තය වෙනුවනේ ලකුණු 81ක සාර්ථක ආරම්භක සබඳතාවක් ගොඩනැගීමට රචින් රවින්ද්‍රා සහ ටිම් රොබින්සන් සමත් විය. නමුත් ලකුණු 37කට ටිට් රොබින්සන් පළමු කඩුල්ල ලෙසින් දැවී ගිය අතර  මාක් චැප්මන් ලකුනු 9කට දවා ගැනීමට අසලංකට හැකි විය. ග්ලේන් පිලිප්ස්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 6ක් පමණි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රචින් රවින්ද්‍රා පන්දු 39ක දී ලකුණු 69ක් ලබා ගත්තේය. නවසීලන්ත ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් දැවීගිය මිචෙල් හේ ලකුණු 8ක් ලබා ගත්තේය. ඩැරල් මිචෙල්ට ද රැස්කළ හැකි වූයේ ලකුණු 35ක් පමණි.
ඉනිමේ අවසානයේදී සැක්රි ෆෝක්ස් නොදැවී ලකුණු 21ක් සහ නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 14ක් රැස්කරමින් සටනක් දුන්න ද තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට එය ප්‍රමාණවත් නොවීය. ඒ අනුව නවසීලන්තයට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7කට රැස්කරගත හැකි වූයේ  ලකුණු 211ක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී චරිත් අසංලක කඩුලු 3ක් සහ වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගනිද්දී නුවන් තුෂාර සහ බිනුර ප්‍රනාන්දු අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
කෙසේ වෙතත් කුසල් ජනිත් පෙරේරා මෙම තරගයේ වීරයා ලෙසින් සම්මාන හිමිකර ගත් අතර ජේකොබ් ඩෆී තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේය.
ලකුණු සාරාංශ
ශ්‍රී ලංකාව - 218/5 (20) (කුසල් ජනිත් පෙරේරා 101, චරිත් අසලංක 46, කුසල් මෙන්ඩිස් 22, අවිෂ්ක ප්‍රනාන්දු 17, පැතුම් නිස්සංක 14, මැට් හෙන්රි 47/1, ජේකොබ් ඩෆී 30/1, සැක් ෆෝක්ස් 36/1, මිචෙල් සැන්ට්නර් 52/1, ඩැරල් මිචෙල් 6/1)
නවසීලන්තය - 211/7 (20) (රචින් රවින්ද්‍රා 69, ටිම් රොබින්සන් 37, ඩැරල් මිචෙල් 35, සැක් ෆෝක්ස් නොදැවී 21, චරිත් අසලංක 50/3, වනිඳු හසරංග 38/2, නුවන් තුෂාර 33/1, බිනුර ප්‍රනාන්දු 43/1)