වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම මුහුණදෙන තවත් තීරණාත්මක තරගයක් හෙට (21දා) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව මෙවර වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලානයේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන දෙවැනි තරගය ද මෙයයි. කෙසේ වෙතත් මෙම තරගය ජයගතහොත් පහසුවෙන්ම මෙවර ලෝක කුසලනයේ දෙවැනි වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි වේ.
බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරු 8.00ට ආරම්භ වීමට නියමිතව තිබේ. එම තරගය පැවැත්වෙන්නේ, මලයාසියාවේ ක්වාලා ලම්පූර් නුව බෙයුමාස් ඕවල් ක්‍රීඩාංගණයේදීය.
ඊට අමතරව මූලික වටයේ තවත් තරගයක් අද දහවල් 12.00ට ආරම්භ වීමට නියමිතව ඇත. එම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ මලයාසියානු කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතරය.
කෙසේ වෙතත් මේ වන විට මෙම තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවී ඇත. එහිදී ප්‍රසාද ලකුණු 2ක් සමඟින් ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගයට අනුව (6.950) ශ්‍රී ලංකාවට දෙවැනි ස්ථානය හිමි වෙද්දී ප්‍රසාද ලකුණු 2කටම හිමිකම් කියන ඉන්දීය කණ්ඩායම 8.646ක ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත.
එසේම මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගයෙන් සත්කාරක මලයාසියානු කාන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හමුවේ ලකුණු 139ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. එම තරගයේ පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 162කි. එසේ වුවත් මලයාසියානු කාන්තා කණ්ඩායමට පිළිතුරු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 23ක් පමණි.
ඊයේ පැවැති තවත් මූලික වටයේ තරගයකදී පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට නයිජීරියා කණ්ඩායම සමත් වීම කැපී පෙනිණි. ඒ අනුව නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ලකුණු 2කින් පරාජයට පත් කරමිනි. එම තරගයේ පළමුව ලකුණූ රැස්කළ නයිජීරියා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 13 අවසානයේ රැස්කළ ලකුණු සංඛ්‍යාව 65කි. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට නියමිත පන්දුවාර 13ක් අවසානයේ කඩුලු 6කට රැස්කරගත හැකි වූයේ ලකුණු 63ක් පමණි.
මේ අතර මෙවර වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ (සුපිරි කණ්ඩායම් 6 තරග වටය) තරග මෙම මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත. එසේම අර්ධ අවසන් පූර්ව තරග මෙම මස 31 වැනිදාත් අවසන් මහා තරගය පෙබරවාරි මස 2 වැනිදාත් පැවැත්වීමට නියමිතව ඇත.