නැගෙනහිර පළාත් සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලිය 23දා සිට

නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය

Other Sports

5
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ නැගෙනහිර පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය හෙට (23දා) සිට 27 වැනිදා දක්වා මඩකලපුව ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වීමට නියමිතය. ජාතික බැඩ්මින්ටන් ශේණිගත කිරීමේ පළමු කාණ්ඩයේ තරගාවලියක් ලෙස මෙය පැවැත්වෙන අතර, ඒ සඳහා විවිධ කාණ්ඩ යටතේ ශේණිගත කිරීමේ ඉදිරියෙන් සිටින සියලු‍ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 
නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතා තරගාවලියට අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ දක්වා කනිෂ්ඨ වයස් කාණ්ඩය, අවුරුදු 30න් ඉහළ සිට අවුරුදු 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ වයස් කාණ්ඩය, අවුරුදු 100 ඒකාබද්ධ වයස් කාණ්ඩය සමඟ කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් විවෘත අංශයේ තරග කාණ්ඩය ඇතුළත් ය. මීට අමතරව කාන්තා හා පිරිමි ඒකල තරග අංශයේ අවසන් පූර්ව වටයේ පරාජිතයන් සඳහා පළඟ ශූරතා තරග ඉසව්වක් ද මෙම තරගාවලියට ඇතුළත් වේ. 
නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ සමාරම්භක උත්සවය හෙට පෙරවරු 9.00ට පැවැත්වෙන අතර, අනතුරුව මූලික වටයේ තරග ආරම්භ වේ. එම තරග ජනවාරි 26 දා අර්ධ අවසන් පූර්ව වටය හා අවසන් පූර්ව වටය දක්වා පැවැත්වෙනු ඇත. උද්වේගකර අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් මහා තරග ජනවාරි 27 වැනිදා පැවැත්වෙන අතර, එදින පස්වරුවේ සමාප්ති උත්සවය පැවැත්වීමට නියමිතය. 
නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් 7,50,000ක මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර, මීට අමතරව සියලු‍ම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සහ අනුශූරයන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කිරීමට නියමිතය. තරගාවලියේ සංවිධායක කමිටුව තීරණයට අනුව කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. 
මෙම තරගාවලිය සම්බන්ධ වැඩිදුර තොරතුරු, 0773605967, 0772177479 හෝ 0774937955 දුරකතන අංක මගින් තරගාවලියේ සංවිධායක මණ්ඩලය අමතා ලබාගත හැකිය. මේ පිළිබඳ සියලු‍ තොරතුරු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ වෙබ් අඩවියේ ද සඳහන් කර ඇත.