සංචාරක ඕස්ටේ්රලියානු කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වන විට ආබාධයකට ගොදුරු වී සිටින කමිඳු මෙන්ඩිස්ගේ ආබාධ තත්ත්වය එතරම් බරතලන නොවන හෙයින් ඔහු මෙම තරගාවලිය සඟා එක්වන ඇති බවද පැවැසේ. එසේ වුවත් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පළමු තරගය සඳහා එක් නොවන බවත් දෙවැනි තරගය ද පැතුම්ට අවිනිෂ්චිත බවද පැවැසේ.
ඒ වෙනුවට නවක ක්‍රීඩක සොනාල් දිනූෂ එක් කර ඇති බව ද සඳහන්ය. 24 හැවිරිදි සොනාල් දිනූෂ පසුගිය කාලයේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් සුපිරි දස්කම් දැක්වීය. එසේම කසුන් රාජිතට ද මෙවර ටෙසට් තරගාවලියේදී සංචිතයේ ස්ථානය අහිමිව ගොස් ඇත. ඊට අමතරව පැතුම් නිස්සංකගේ ආදේශකය ලෙස කඩුළු රකින ක්‍රීඩක ළහිරු උදාර ශ්‍රී ලංකා සංචිතය වෙත කැඳවා තිබීම ද විශේෂත්වයකි. කෙසේ වෙතත් මෙම තරගාවලියේදී දිමුත් කරුණාරත්න සමඟින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමේ වගකීම දකුණත් පිතිකරු ඕෂධ ප්‍රනාන්දුට හිමි වනු ඇති බව ද සඳහන්ය.
කමිඳු මෙන්ඩිස්, පසුගියදා පැවැති අන්තර් ක්‍රීඩා සමාජ තරගයකදී ඉහත සඳහන් කළ ආබාධයට ගොදුරුවිය. මෙම ආබාධය හේතුවෙන් මැහුම් කිහිපයක් යෙදීමට සිදුව තිබුණ ද කමිඳුගේ ආබාධය බරපතල නොවන බව ද දැනගන්නට ඇත. එස්.එස්.සී. සහ සී.සී.සී. කණ්ඩායම් අතර පැවැති අන්තර් ක්‍රීඩා සමාජ තරගයකදී උඩ පන්දුවක රැක ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී කමිඳු මෙම ආබාධයට ගොදුරුවී තිබිණි.
නවසීලන්තය සමඟින් පැවැති තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද පාදයේ ආබාධයකට ගොදුරු විය. පැතුම්ගේ කළවය ආශ්‍රිතව මෙම ආබාධය ඇතිවී තිබේ. එසේම මෙම ආබාධය හේතුවෙන් සති දෙකක කාලයක් පැතුම්ට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවතව සිටීමට සිදුවනු ඇත.
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළැඹෙන 29 වැනිදා සිට පෙබරවාරි මස 2 වැනිදා දක්වා පැවැත්වේ. දෙවැනි තරගය පෙබරවාරි මස 6 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබේ. එම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබීම ද විශේෂත්වයකි. එසේම මෙම ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන එක්දින තරගාවලයේ පළමු තරගය පෙබරවාරි මස 12 වැනිදාත් දෙවැනි තරගය පෙබරවාරි 14 වැනිදාත් පැවත්වීමට නියමිතව ඇත. එසේම මෙම තරග දෙකම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා තරග ලෙසින් පැවැත්වීම ද විශේෂත්වයකි.
මේ අතර මෙම තරගාවලියට එක්වීමේ අපේක්ෂාවෙන් ඕස්ටේ්රලියානු කණ්ඩායම එළැඹෙන 24 වැනිදා ශ්‍රී ලංකාවට ලඟා වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා සංචිතය - ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, ඕෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, නිෂාන් පීරිස්, ජෙෆ්රි වැන්ඩර්සේ, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, සොනාල් දිනූෂ, ළහිරු උදාර.