මාස්ටර්ස් ලීගයේ ශ්‍රී ලංකා තරගය 22දා

හිටපු විශිෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් තරග වදින මාස්ටර්ස් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය

International Cricket

58

ජාත්‍යන්තර ක්‍රිකට් කරළිය තුළ හිටපු විශිෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් තරග වදින මාස්ටර්ස් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන පසුගියදා නිල වශයෙන් නිවේදනය කර තිබිණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින පළමු තරගය මෙම මස 22 වැනිදා ඉන්දියන් මාස්ටර්ස් කණ්ඩායම සමඟින් රාත්‍රී 7.30ට මුම්බායිහි දී පැවැත්වීමට නියමිතව ඇත. මුම්බායිහි ඩී. වයි. පට්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය මාස්ටර්ස් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයයි.
ඉන් අනතුරුව 26 වැනිදා ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම දකුණු අප්‍රිකා මාස්ටර්ස් කණ්ඩායම සමඟින් මුම්බායිහි ඩී.වයි. පට්ලි ක්‍රීඩාංගණයේදීම තරග බිමට පිවිසීමට නියමිතව ඇත. මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන තෙවැනි තරගය 28 වැනිදා ඕස්ටේ්‍රලියා මාස්ටර්ස් කණ්ඩායම සමඟින් රාජ්කෝට්හිදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගය 28 වැනිදා රාජ්කෝට්හිදී පැවැත්වේ.
මූලික වටයේ ශ්‍රී ලංකාව එක්වන සිවු වැනි හෙවත් අවසන් තරගය එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම සමඟින් මාර්තු මස 10 වැනිදා රායිපූර්හිදී පැවැත්වේ.
මෙම තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා හිටපු නායක සහ කඩුලු රකින ක්‍රීඩක කුමාර් සංගක්කාරට හිමිව ඇති බව වාර්තා වේ. ඊට තිලකරත්න දිල්ෂාන්, චමින්ද වාස්, ඉසුරු උදාන, මුත්තයියා මුරලිදරන් සහ අසේල ගුණරත්න වැනි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සුපිරි තරු රැසක් එක්වීමට නියමිතව තිබීම ද විශේෂත්වයකි.
එසේම මෙම තරගාවලියේදී ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම මෙහෙයැවීමේ වගකීම සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ට හිමිව ඇති අතර ඕස්ටේ්‍රලියානු මාස්ටර්ස් පිල මෙහෙයවන්නේ තුන් ඉරියව් ක්‍රීඩක ශේන් වොට්සන් විසිනි. බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් පිලේ නායකත්වය සුපිරි පිතිකරු බ්‍රයන් ලාරාට හිමිව ඇත. ජොන්ටි රෝඩ්ස් දකුණු අප්‍රිකානු මාස්ටර්ස් කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිත අතර එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායමේ නායකත්වය හිමි වී ඇත්තේ ඉයන් මෝගන්ටයි.