වෝන්-මුරලි කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (6දා) පෙරවරු 10.00ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් මෙම තරගාවලියේ පළමු තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගනිමින් තරග 1-0ක් ලෙසින් ඕස්ටේ්‍රලියාව මේ වන විටත් පෙරමුණ ගෙන තිබේ.
ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අතිෂය දුර්වල ක්‍රීඩා රටාව නිසා පළමු තරගයේ පරාජය ශ්‍රී ලංකාවට උරුම වූවා යැයි කීවාට වරදක් නැත. එසේම ගාල්ල තණතීරුවේ ප්‍රභල ඕස්ටේ්‍රලියානුවන් හමුවේ පළමු පන්දු යැවීමට සිදු වුවහොත් ඕස්ටේ්‍රලියානුවන් අඩු ලකුණු ගණනකට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලෑණිය සතුව සාර්ථක සැළසුමක් පළමු තරගයේදී තිබුණා දැයි සැක සහිතය. හුදෙක්ම තණතීරුවේ දඟ කැවීමේ හැකියාව සහ ඉන් ලබා ගත හැකි වාසිය ගැන පමණක් සිතා සැළසුම් සකස් කිරීමේ විපාක පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අත්වින්දේය.
ඒ අනුව කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස්කළ ඕස්ටේ්‍රලියානුවන් ඉතා පහසුවෙන් ලකුණු 654ක් රැස්කරගෙන සිටියදී ඉනිම අත්හිටුවීය. ආසියානු කලාපය තුළ ටෙස්ට් ඉනිමක ඕස්ටේ්‍රලියාව වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ එයයි. ඉන් අනතුරුව පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 165කට සීමා වූ අතර දෙවැනි ඉනිමේ දී ඉනිමක පරාජයන් බේරීමේ සටනටකට අවතීරණ වූ ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වූයේ ලකුණූ 247ක් පමණි.
ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අතිෂය දුර්වල පිතිකරණ රටාව එම තරගයේ ඉනිම් දෙක පුරා පැහැදිලිව දැකිය හැකි විය. අවස්ථානුකූලව ඉනිමක් ගොඩනැගීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සතුව නොතිබූ හැකියාවත් අතිෂය දුර්වල ලෙසින් පහරවල් තෝරා ගැනීමත් නිසා ඉනිමක සහ ලකුණු 242ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකාවට උරුම විය. එය ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙසින් හඳුන්වාදිය හැක්කේ ටෙස්ට් ඉතිහායේ මෙන්ම තම මව්බිම තුළදී ද ශ්‍රී ලංකාව ලද දැවැන්තම පරාජය එය වීම හේතුවෙනි.
කෙසේ වෙතත් තම වැරදි නිවැරදි කර ගනිමින් තම ගෞරවය ආරක්ෂා කර ගැනීමේ සටනකට පිවිසීමට ශ්‍රී ලංකාවට අද ආරම්භ වන දෙවැනි තරගයේදී අවස්ථාව උදා වී තිබේ.
එසේම මෙම තරගයේදී ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් කිහිපයක් සිදු විය හැකි බව ද දැනගන්නට ඇත. ඒ අනුව පාදයේ ආබාධයක් හේතුවෙන් පළමු තරගයට එක් නොවූ දකුණත් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම තරගයට එක්වනු ඇත. ඒ අනුව ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දුට මෙම තරගයේදී අවස්ථාව අහිමිව යනු ඇත. කළකට පසු ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඕෂධට නොහැකි විය.
එසේම දෙවැනි තරගයේදී නිෂාන් පීරිස් වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවීමට වැඩි ඉඩක් තිබෙන බවද දැනගන්නට ඇත. මෙම ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ සංචිතයේ ස්ථානයක් රමේෂ්ට හිමි වී නොතිබුණ ද පළමු තරගයෙන් ලද අන්ත පරාජයෙන් අනතුරුව රමේෂ් නැවතත් සංචිතයට කැඳවීමට පියවර ගෙන තිබේ.
මේ අතර ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ 100 වැනි මෙන්ම අවසන් ටෙස්ට් තරගය වන්නේ ද මෙයයි. ශ්‍රී ලංකා ටෙස්ට් පිටියේ වඩාත් සාර්ථකම ආරම්භක පිතිකරුවා ලෙසින් දිමුත් හඳුන්වාදුන්නාට වරදක් නැත. මේ වන විට ටෙස්ට් ක්‍රිකට් තරග 99කට ක්‍රීඩා කර ඇති දිමුත් ශතක 16ක් සහ අර්ධ ශතක 39ක් රැස්කරමින් දස්කම් දක්වා ඇත. එසේම 2019 වසරේ සිට 2023 වසර දක්වා ටෙස්ට් තරග 30කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දී තිබේ.