ඉන්දියාවට වාර්තාගත ජයක්

ඉන්දියාව සහ එංගලන්තය අතර විස්සයි-20 තරගාවලිය

International Cricket

44

ඉන්දියාව සහ එංගලන්තය අතර තරග 5කින් යුත් විස්සයි-20 තරගාවලියේ   පස් වන හා අවසන් තරගය අභිෂේක් ෂර්මාගේ විශිෂ්ට පිතිකරණයෙන් ඉන්දියාව ලකුණු 150ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ඊයේ  (02දා) සමත් විය.ඒ අනුව තරග 5කින් යුත් විස්සයි-20 තරගාවලිය 4-1ක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කළේය.

ඉන්දියාවේ මුම්බායි වන්කඩේ  ක්‍රීඩා පිටියේ පැවති පස් වන විස්සයි-20 තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායක ජොෂ් බට්ලර් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දියාව කණ්ඩායමට ආරාධනා කළේය.  ඒ අනුව පිටියට පැමිණි ඉන්දියා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 16ක් ලබා සිටියදී සංජු සැම්සන් දැවී ගියේය. ඉන්පසු පිටියට පැමිණි තිලක් වර්මා සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43කදී ලකුණු 115ක සාර්ථක සම්බන්ධතාවක් රැගෙන යෑමට අභිෂේක් ෂර්මා සමත් විය. අභිෂේක් ෂර්මා පන්දු 17කදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය එය  ඉන්දියානු පිතිකරුවෙක් ලබා ගත් දෙවැනි වේගවත්ම අර්ධ ශතකයයි. ඉන්දියානු පිතිකරුවෙක් ලබා ගත් වේගවත්ම අර්ධ ශතකය වන්නේ පන්දු 12කදී යුවරාජ් සිං එංගලන්තයට එරෙහිව ලබා ගත් අර්ධ ශතකයයි.
  අභිෂේක් ෂර්මා පන්දු 54කදී ලබා ගත් ලකුණු 135 ඉන්දියානු පිතිකරුවෙක් විස්සයි - 20 පිටියේ රැස් කළ වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස හැඳින්විය හැකි අතර මීට පෙර නවසීලන්තයට එරෙහි ශුබ්මන් ගිල් ලබා ගත් ලකුණු 126 පසු කර යෑමකි. අභිෂේක්ගේ ශතකය පන්දු 37කදී වාර්තා වූ අතර  ඉන්දියානුවෙක් ලබා ගත් දෙවැනි වේගවත්ම ශතකයයි. වේගවත්ම ශතකය වන්නේ පන්දු 35කදී ශ්‍රී ලංකාවට එරෙහිව රොහිත් ශර්මා ලබාගත් ශතකයයි. අභිෂේක් හයේ පහර 13ක් එල්ල කිරීමට සමත් විය. එය ඉන්දියානු ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ ලබා ගත් වැඩිම හයේ පහර සංඛ්‍යාවයි.
ඉන්දියාව පළමු පන්දු වාර 6ට ලකුණු 95/1ක් වාර්තා කළේය. එය ඉන්දියාව පවර් ප්ලේ තුළ ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි. 2021කදී ස්කොට්ලන්තයට එරෙහිව ඉන්දියාව ලබා ගත් ලකුණු 82/2 අභිබවා යෑමකි. ඉන්දියාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී  ලකුණු 247ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් විය. එම ලකුණු ප්‍රමාණය  විස්සයි-20 ජාත්‍යන්තර පිටියේ ඉන්දියාව ලබා ගත් 4 වැනි වැඩිම ලකුණු ප්‍රමාණයයි. පසුගිය වර්ෂයේ බංග්ලාදේශයට එරෙහිව ලබාගත් ලකුණු 297 පසු කර යෑමට හැකිව තිබුණත් ඉන්දියාවේ කඩුලු බිඳ වැටීම හේතුවෙන් එම ලකුණු ප්‍රමාණය පසු කර යෑමට හැකි වූයේ නැත. ඉන්දියාව වෙනුවෙන් අභිෂේක් ෂර්මා ලකුණු 135ක්, තිලක් වර්මා ලකුණු 24ක් සහ ශිවම් ඩුබේ ලකුණු 30ක් ලබා ගැනීමට සමත් විය. එංගලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු බ්‍රයිඩන් කාර්ස් කඩුලු 3ක් සහ මාර්ක් වුඩ් කඩුලු 2ක් බිඳ හෙලූවේය.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 248ක දැවැන්ත ඉලක්කයක් ලබා ගැනීමට පිටියට පැමිණි එංගලන්තය පන්දු 10.3කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ  ලකුණු 97ක් පමණි. එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලෙස පිලිප් සෝල්ට් ලකුණු 55ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් වැඩිම කඩුලු ලෙස මොහොමඩ් සාමි කඩුලු 3ක් සහ වරුන් චක්‍රවර්ති, ශිවම් ඩුබේ, අභිෂේක් ෂර්මා කඩුලු 2 බැගින් බිඳ හෙලූවේය.
තරගාවලියේ වීරයා සම්මානය වරුන් චක්‍රවර්ති සහ තරගයේ වීරයා සම්මානය අභිෂේක් ෂර්මා ලබා ගත්තේය. තරග 3කින් යුත් එක්දින තරගාවලිය පෙබරවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිතය