ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් නායකයෙක් වූ දසුන් ශානක පෙරේදා (2දා) රටවල් දෙකකදී ඉනිම් දෙකක් ක්‍රීඩා කරමින් දස්කම් දැක්වීම ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ අවධානය දිනා ගත් සිදුවීමක් විය.
ඒ අනුව පෙරේදා (2දා) ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මේජර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා කළ දසුන් එදින රාත්‍රියේ ජාත්‍යන්තර විස්සයි-20 ලීග් තරගාවලියේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය.
ඒ අනුව මේජර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ එස්.එස්.සී. කණ්ඩායම නියෝජනය කරමින් මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 87කදී ලකුණු 123ක් ලබා ගැනීමට දසුන්ට හැකි විය. එහිදී දසුන් හයේ පහර 8ක් සහ හතරේ පහර 10ක් එල්ල කළේය. මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.
මෙම තරගය නිමා වීමෙන් පසුව ඩුබායි රාජ්‍යය බලා ගමන් කළ දසුන් එදින රාත්‍රීයේ ජාත්‍යන්තර ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඩුබායි කැපිටල්ස් සහ අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ ක්‍රීඩා කළේය. එහිදී ඩුබායි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරමින් දසුන් පන්දු 12කදී ලකුණු 34ක් ලබා ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමඟිනි. මෙම තරගයේදී ඩුබායි පිලට ලකුණු 28ක ජයක් හිමි විය.