දකුණු අප්‍රිකානු T-20 ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන් කේප්ටවුන් කණ්ඩායමට ක්‍රීඩා කරන ඇෆ්ගනිස්ථානයේ දගපන්දු යවන ක්‍රීඩක රාෂිඩ් කාන් ඊයේ (04දා) පර්ල් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේදී සිය විස්සයි-20 ක්‍රිකට් දිවියේ 633 වැනි කඩුල්ල ලබා ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඩේවන් බ්‍රාවෝ පසු කර යමින් විස්සයි-20 පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් විය.
විස්සයි-20 තරග 461ක් ක්‍රීඩා කර කඩුලු 633ක් ලබා ගනිමින් රාෂිඩ් කාන් මෙම වාර්තාව තැබීමට සමත් විය. විස්සයි-20 තරග 582කදී කඩුලු 631ක් ලබා ගනිමින් ඩේවන් බ්‍රාවෝ දෙවැනි ස්ථානයේත්, තරග 536කදී කඩුලු 574ක් ලබා ගනිමින් සුනිල් නරීන් තුන්වැනි ස්ථානයේත් පසු වෙයි.
26 හැවිරිදි රාෂිඩ් කාන් 2015 වර්ෂයේදී සිම්බාබ්වේට එරෙහිව විස්සයි-20 පිටියට පිවිසි අතර ජාත්‍යන්තර විස්සයි - 20 පිටියේ තරග 96ක් ක්‍රීඩා කර කඩුලු 161ක් ලබා ගනිමින් ජාත්‍යන්තර විස්සයි-20 ක්‍රිකට් පිටියේ දෙවැනි ස්ථානයේ පසු වෙයි. ටිම් සවුති ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ කඩුලු 164ක් ලබා ගනිමින් ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ පළමු ස්ථානයේ රැඳී සිටියි.