කමින්ස් ශූරයින්ගේ කුසලානයටත් නැහැ

ඕස්ටේ්‍රලියානු නායකත්වය ස්මිත්ට හෝ හෙඩ්ට

International Cricket

37

ඕස්ටේ්‍රලියානු නායක පැට් කමින්ස්ට, ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමිව යනු ඇති බව වාර්තා වේ. 
ඒ අනුව පාදයේ වළලුකර ආශ්‍රිත ආබාධ තත්ත්වයක් හේතුවෙන් කමින්ස්ට මෙම තරගාවලියෙන් ද ඉවත් වීමට සිදුව ඇති බව සඳහන්ය. කෙසේ වෙතත් 2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඕස්ටේ්‍රලියානු කණ්ඩායම මෙහෙයැවීමේ වගකීම හිටපු නායක ස්ටීවන් ස්මිත්ට හෝ ට්‍රැවිස් හෙඩ්ට හිමිවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉන්දියාව සමඟින් පැවැති බෝඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලිය අතරතුර කමින්ස් මෙලෙස ආබාධයකට ගොදුරු වී තිබූ අතර එම තරගාවලියේදී මුහුණදුන් දැඩි අවිවේකීභාවය ඊට හේතුවී ඇති බවද සඳහන්ය. මේ හේතුවෙන් බියු වෙබ්ස්ටර් ඕස්ටේ්‍රලියානු සංචිතය සඳහා කැඳවීමේ වැඩි ඉඩක් තිබෙන බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. 
කෙසේ වෙතත් මේ වන විට පැවැත්වෙන වෝන් - මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියට ද පෞද්ගලික හේතුවක් මත පැට් කමින්ස් එක් නොවීය. එහිදී ඕස්ටේ්‍රලියා කණ්ඩායම මෙහෙයැවීමේ වගකීම හිමි වූයේ ස්ටීවන් ස්මිත්ටයි. 
පැට් කමින්ස්ට අමතරව ඕස්ටේ්‍රලියානු වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හැසල්වුඩ් ද වළලුකර ආශ්‍රිත ආබාධයකට ගොදුරුවී තිබීම නිසා ශූරයින්ගේ කුසලානයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයකි. 
එපමණක් නොව පිට කොන්ද ආශ්‍රිතව ඇතිවූ ආබාධයක් හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ් ද ශූරයින්ගේ කුසලානය සඳහා එක් නොවේ.