එල්.පී.එල්. ජූලි 25 සිට

2025 ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය

Domestic Cricket

1000
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන 2025 ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ ජූලි 25 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව වාර්තාවේ. 
ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරන්නේ 2025 එල්.පී.එල්. තරගාවලිය එළැඹෙන ජූනි මාසයේදී පැවැත්වීමට මින් පෙර සැළසුම් කර තිබූ බවයි. එසේ වුවත් බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ජූනි මාසය තුළ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බැවින් මෙලෙස එල්.පී.එල් තරගාවලිය ජූලි මාසය දක්වා කල් දමා ඇත. 
ඒ අනුව 2025 එල්.පී.එල්. තරගාවලිය මෙම වසරේ ජූලි මස 25 වැනිදා ආරම්භ කිරීමටත් අගෝස්තු මස 25 වැනිදා දක්වා පැවැත්වීමටත් ක්‍රිකට් ආයතනය සැළසුම් කර තිබේ. එසේම මෙවර එල්.පී.එල්. තරගාවලියට අදාළව පැවැත්වීමට සැළසුම් කර ඇති ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ද ඉදිරි සතිය තුළ තීරණය කිරීමට නියමිතව ඇති බව ද සඳහන්ය. 
මෙවර එල්.පී.එල්. තරගාවලියේදී රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණය, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වීමට සැළසුම් කර ඇති බව ද සඳහන්ය. 
කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ටෙස්ට් තරග 2ක් එක්දින ජාත්‍යණ්තර ක්‍රිකට් තරග 3ක් සහ විස්සයි-20 තරග 3ක් ඇතුළත්ය. එම තරගාවලිය එළැඹෙන ජූනි මස 17 වැනිදා සිට ජූලි මස 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.