2026 කාන්තා විස්සයි-20 ලෝක කුසලානය

සමාරම්භක තරගයට ශ්‍රී ලංකාව සහ එංගලන්තය

Womens Cricket

1000

20226 කාන්තා විස්සයි - 20 ක්‍රිකට් ලෝක කුසලානයේ නිල තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ඊයේ (18දා) නිල වශයෙන් එළිදක්වා තිබිණි. ඒ අනුව එම තරගාවලිය එම වසරේ ජූනි මස 12 වැනිදා සිට ජූලි මස 5 වැනිදා දක්වා එංගලන්තයේ ක්‍රීඩාංගණ 7කදී පැවැත්වීමට නියමිතව ඇත. එසේම එම තරගාවලිය සඳහා තරග 33ක් ඇතුළත් වීම ද විශේෂත්වයකි. මූලික වටයේදී කාණ්ඩ 2ක් යටතේ මෙහි දී තරග පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව ඕස්ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය සහ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයෙන් තෝරාගන්නා කණ්ඩායම් 2ක් පළමු කාණ්ඩයට ඇතුළත්ය. ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, සත්කාරක එංගලන්තය සහ සුදුසුකම් ලබා ගැනීමේ වටයෙන් තෝරාගන්නා කණ්ඩායම් 2ක් දෙවැනි කාණ්ඩයට ඇතුළත්ව තිබේ. 

එහි සමාරම්භක තරගයේදී ශ්‍රී ලංකාව සහ සත්කාරක එංගලන්තය තරග බිමට පිවිසීමට නියමිතව තිබීම විශේෂත්වයකි. 2026 වසරේ ජූනි මස 12 වැනිදා පැවැත්වෙන එම තරගය පැවැත්වෙන්නේ එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදීය. 

එසේම මෙම තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව එක්වන දෙවැනි තරගය ජූනි මස 16 වැනිදා නවසීලන්තය සමඟින් හැම්ෂයර්හිදී පැවැත්වීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය ජූනි මස 21 වැනිදා බි්‍රස්ටල්හිදී පැවැත්වීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව ජූනි මස 23 වැනිදා ශ්‍රී ලංකාව බි්‍රස්ටල්හිදීම තවත් තරගයකට මුහුණදීමට නියමිතව ඇත. එසේම මූලික වටයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්වන අවසන් තරගය ජූනි මස 26 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදීය. 

එසේම මෙම තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය 2026 වසරේ ජූනි මස 30 වැනිදාත් දෙවැනි තරගය ජූලි මස 2 වැනිදාත් පැවැත්වීමට සැළසුම් කර ඇති අතර එහි අවසන් මහා තරගය ජූලි මස 5 වැනිදා පැවැත්වීමට සැළසුම් කර ඇත්තේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.