තායිලන්තයේ පැවැත්වෙන ආසියානු ‘එලයිට්’ බොක්සිං ශූරතාවලියේ කිලෝග්‍රෑම් 51 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට උමයංග මිහිරාන් පසුගියදා සමත් විය.
ඒ අනුව එය වාර්තා අතරට එක්වූයේ 1987 වසරෙන් පසුව ආසියානු මට්ටමෙන් තරගාවලියකදී මෙරට ක්‍රීඩකයෙකු බොක්සිං පදක්කමක් දිනා ගනු ලැබූ පළමු අවස්ථාව ලෙසිනි. එනම් අවසන් වරට 1987 වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කුවේට්හිදී පැවැති ආසියානු බොක්සිං තරගාවලියකදී එල්. ජේ. රත්නසූරිය ලෝකඩ පදක්කමක් හිමිකර ගෙන තිබිණි.
මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ආසියානු ශූර උස්බෙකිස්තානයේ අසිල්බෙක් ජලිලොව් හමුවේ අතිශය තියුණු සටහනකින් පසු ලකුණු 30-27ක් ලෙසින් පරාජයට පත් වීම හේතුවෙන් උමයංගට ලෝකඩ පදක්කමින් සෑහීමකට පත්වීමට සිදු විය. කෙසේ වෙතත් විදෙස් විචාරකයන් මෙම තරගය හඳුන්වා දී තිබුණේ අසිල්බෙක්ට ආසියානු ‘එලයිට්’ බොක්සිං තරගාවලියේදී හිමි වූ ප්රබලතම තරගය ලෙසයි.
කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ උමයංග මේ වන විට කිලෝග්‍රෑම් 51 බර පංතියේ ජාතික ශූරයා ද වෙයි. එපමණක් නොව පාසල් වියේ සිට ඔහු වෘත්තීය මට්ටමේ සෑම දේශීය තරගාවලියකම ශූරයා වීමද විශේෂත්වයකි.