ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කළ 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශුරතාවලියේ ද්විත්ව ශුරතා දිනා ගනිමින් ජාතික බැඩ්මින්ටන් ශූරයා සහ ශූරිය ලෙස අභිෂේක ලැබීමට විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ සමත් වූහ. විවෘත අංශයේ අවසන් මහා තරග වෙළෙඳසේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ පැවැති අතර, එහිදී පිරිමි ඒකල ශූරතාව දිනූ විරේන් නෙත්තසිංහ සහ කාන්තා ඒකල ශූරතාව දිනූ රනිත්මා ලියනගේ එක්ව මිශ්‍ර යුගල ශූරතාවට හිමිකම් කීමට සමත්වූහ. වෙළෙඳසේවා බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය, ඔටර්ස් ක්‍රීඩා සමාජ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරය කේන්ද්‍ර කරමින් දින අටක් පුරා පැවැති මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි විවෘත ඒකල අවසන් මහා තරගයෙන් විරේන් නෙත්තසිංහ ජයගනු ලැබුවේ ෂෙනුක් සමරරත්න ලකුණු 21-10ක් සහ 21-19ක් වශයෙනි. කාන්තා විවෘත ඒකල අවසන් මහා තරගයේදී රෂ්මි මුදලිගේ ලකුණු 21-10ක් සහ 21-16ක් ලෙස පරාජය කිරීමට රනිත්මා ලියනගේ සමත්වූවාය. විවෘත මිශ්‍ර යුගල අවසන් තරගයේදී රනිත්මා සහ විරේන් එක්ව ලකුණු 21-15ක්, 17-21ක් සහ 21-19ක් ලෙස තුලිත් පල්ලියගුරුගේ සහ පංචාලි අධිකාරි පරාජය කිරීමට සමත් වූහ.
පසුගිය වසරේ ජාතික ශූරතාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනා ජාතික බැඩ්මින්ටන් ශූරයා බවට පත්වූ බුවනෙක ගුණතිලක මෙවර ජේසන් හෝමර් සමඟ එක්ව පිරිමි විවෘත යුගල ශූරතාව දිනා ගනිමින් සෑහීමකට පත්වූ අතර, අවසන් තරගයේදී ඔවුන් හමුවේ ෂෙනුක් සමරරත්න සහ සවිනක වීරසේකර ලකුණු 21-14ක් සහ 21-16ක් ලෙස පරාජයට පත්වූහ.
රනිත්මා ලියනගේ සහ ප්‍රවීනා විජේසුන්දර ලකුණු 21-17ක්, 19-21ක් සහ 24-22ක් ලෙස පරාජයට පත් කළ වරංගනා ජයවර්ධන සහ රෂ්මි මුදලිගේ කාන්තා විවෘත යුගල ශූරතාව දිනා ගත්හ.
විවෘත තරග අංශයට අමතරව අවුරුදු 11න් පහළ වයස් කාණ්ඩයේ සිට අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩය දක්වා කනිෂ්ඨ අංශයේ තරග, අවුරුදු 30න් ඉහළ සිට අවුරුදු 70 දක්වා ජ්‍යෙෂ්ඨ අංශයේ තරග සහ අවුරුදු 100ට වැඩි, 110ට වැඩි සහ අවුරුදු 120ට වැඩි ඒකාබද්ධ තරග අංශය ඇතුළත්ව පැවැති 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට රුපියල් මිලියන දෙකක මුදල් ත්‍යාග බෙදා දීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය කටයුතු යොදා තිබිණි. මුදල් ත්‍යාගවලට අමතරව කුසලාන, පදක්කම් සහ සහතික පත්‍ර පිරිනැමිණි. සංවිධායක මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුව මෙවර තරගාවලියේ කනිෂ්ඨ තරග අංශයේ ශූරයන්ට සහ ශූරියන්ට මෙවර මුදල් ත්‍යාග වෙනුවට වටිනා ත්‍යාග පිරිනැමීමට පියවර ගෙන තිබිණි