බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය වූ අද (19දා) තරගය නතර කරන අවස්ථාව වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකාව පන්දුවාර 93ක් අවසානයේ කඩුලු 4කට ලකුණු 368ක් ලබා ශක්තිමත් ස්ථානයක පසු විය.
මෙම තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනය ආරම්භ වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 9කට ලකුණු 484ක් ලබා සිටියේය. ඒ අනුව බංග්ලාදේශ අවසන් පිතිකරුවන් යුගළයට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර ඒ අනුව පන්දුවාර 153.4කදී බංග්ලාදේශ ඉනිම ලකුණු 495කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබිණි.
එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගත් අතර මිලාන් රත්නායක සහ තරිඳු රත්නායක අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම දකුණත් පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ ලහිරු උදාර විසින් ආරම්භ කරන ලද අතර ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකා ඉනිම දකුණත් පිතිකරුවන් දෙදෙනකු ආරම්භ කළේ වසර 30කට පසුව වීම ද විශේෂත්වයකි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ ආරම්භක සම්බන්ධතාවය ලකුණූ 47කට සීමා කරමින් ලකුණු 29ක් ලබා සිටි ලහිරු උදාර දවා ගැනීමට ටයිජුල් ඉස්ලාම්ට හැකියාව ලැබිණි. දෙවැනි කඩුල්ලට පිටියේ එක්වූ පැතුම් නිස්සංක සහ දිනේෂ් චන්දිමාල් ඊට ලකුණු 157ක් එක් කිරීම කැපී පෙනිණි. මේ අතර පැතුම් නිස්සංක තම ටෙස්ට් දිවියේ තෙවැනි ශතකය වාර්තා කර ගත්තේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙසින් දැවි ගියේ තම ටෙස්ට් දිවියේ 33 වැනි අර්ධ ශතකය වාර්තා කරමිනි.
චන්දිමාල්ගේ දැවී යෑමෙන් අනතුරුව මැතිව්ස් සමඟින් එක්වූ පැතුම් නිස්සංක, ශ්‍රී ලංකාවේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89ක් එක් කළ ද මැතිව්ස් ලකුණු 39කට අවාසනාවන්ත ලෙස දැවී යෑමත් සමග එම සබඳතාව බිඳවැටිනි. සිය පළමු ටෙස්ට් ද්විත්ව ශතකය පෙනෙන මානයේ සිටි පැතුම් නිස්සංක ද ලකුණු 187කට දැවී ගියේ ශ්‍රී ලංකාවේ සිවු වැනි කඩුල්ල ලෙසිනි. පන්දු 256ක දීවාර්තා වූ පැතුම්ගේ සුපිරි ඉනිම හතරේ පහර 23කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් විය. එසේම මෙය පැතුම් නිස්සංකගේ හොඳම ටෙස්ට් ඉනිමයි. දිනය නිමා වන විට ධනංජය ද සිල්වා ලකුණූ 17ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 37ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියහ.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයා පළමුව ලකුණූ රැස්කිරීමට තීරණය කළේය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශයේ පළමු කඩුල්ල ලෙස අනාමුල් හක් ලකුණු නොලබා දැවී ගියේය. දෙවැනි කඩුල්ල බවට පත් වූ ශද්මන් ඉස්ලාම් ලකුණු 14ක් ලබා ගත් අතර මොමිනුල් හක්ට ද රැස්කරගත හැකි වූයේ ලකුණු 29ක් පමණි.
නජ්මුල් හුසේන් ශැන්ටෝ ලකුණු 148ක් රැස්කළ අතර මුෂ්ෆිකර් රහීම් ලකුණු 163ක් රැස්කරගත්තේය. කෙසේ වෙතත් ශැන්ටෝ සහ මුෂ්ෆිකර් රහීම් එක්ව බංග්ලාදේශයේ සිවු වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 264ක් එක් කර තිබිණි. එය වාර්තා අතරට එක්වූයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිවු වැනි කඩුල්ලේ ඉහළම සම්බන්ධතාවය ලෙසිනි.
ලිතන් දාස් ලකුණු 90ක් රැස්කර ගත්තේය. ජේකර් අලී ලකුණු 8කට දැවී යද්දී, නයීම් හසන් ලකුණු 11ක්, යටිජුල් ඉස්ලාම් ලකුණු 6ක්, හසන් මහමුද් නොදැවී ලකුණු 7ක් ලබා ගත්තේය. කෙසේ වෙතත් බංග්ලාදේශයේ අවසන් කඩුලු 5 ලකුණු 37ක් තුළ දවා ගැනීමට මෙහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම කැපී පෙනිණි.
ලකුණු සාරාංශ
බංග්ලාදේශ පළමු ඉනිම - 495 (153.4) (මොමිනුල් හක් 29, ශද්මන් ඉස්ලාම් 14, නජ්මුල් හුසේන් ශැන්ටෝ 148, මුෂ්ෆිකර් රහීම් 163, ලිතන් දාස් 90, තරිඳු රත්නායක 196/3, අසිත ප්‍රනාන්දු 86/3, මිලාන් රත්නායක 39/3, ප්‍රභාත් ජයසූරිය 154/0)
ශ්‍රී ලංකා පළමු ඉනිම - 368/4 (93 (ලහිරු උදාර 29, පැතුම් නිස්සංක 187, දිනේෂ් චන්දිමාල් 54, ඇන්ජෙලෝ මැතිව්ස් 39, කමිඳු මෙන්ඩිස් නොදැවී 37, ධනංජය ද සිල්වා නොදැවී 17, ටයිජුල් ඉස්ලාම් 126/1, නයීම් හසන් 86/1, මොමිනුල් හක් 24/1, හසන් මහමුද් 49/1)