2025 වසරේ පැවැත්වීමට නියමිතව ඇති ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය නොකරන බව නිල වශයෙන් දැනුම්දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉන්දීය ක්‍රිකට් පරිපාලනය මගින් මෙම තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත නිල වශයෙන් දැනුම් දීමට මේ වන විට කටයුතු කර ඇත. එහිදී ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම ශූරයින්ගේ කුසලානය සඳහා පාකිස්තානයේ තරග සංචාරයට එක් නොකරන ලෙසට ඉන්දීය රජය මගින් ඉන්දීය ක්‍රිකට් පරිපාලනය වෙත උපදෙස් ලබා දී ඇති බව සඳහන් කර තිබූ බව දැක්වේ.
කෙසේ වෙතත් 2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එළැඹෙන පෙබරවාරි මස 9 වැනිදා සිට මාර්තු මස 9 වැනිදා දක්වා පාකිස්තානයේ ක්‍රීඩාංගණ 3කදී පැවැත්වීමට මේ වන විටත් සැළසුම් කර අවසන්ය.
මේ හේතුවෙන් නුදුරේදීම අදාළ තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය අයි.සී.සී.ය, ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ගෙන් සමන්විත සාකච්ඡාවකදී ගනු ලබනු ඇති බවද සඳහන්ය. එහිදී දෙමුහුන් ආකෘතියක් යටතේ මෙවර තරගාවලිය පැවැත්වීමේ වැඩි ඉඩක් තිබෙන බවද දැක්වේ. එනම් ශූරයින්ගේ කුසලානයේදී ඉන්දියාව එක්වන තරග පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ වෙනත් රටකදී පැවැත්වීමටත් සෙසු තරග සියල්ල සැළසුම් කර ඇති ආකාරයට පාකිස්තානයේදී පැවැත්වෙනු ඇත.
යම් හෙයකින් දෙමුහුන් තරගාවලියක් ලෙසින් එය පැවැත්වීමට තීරණය කළහොත් ශ්‍රී ලංකාව හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එය පැවැත්වෙනු ඇති බව ද දක්වා තිබිණි.