ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු එක්දින තරගය හෙට

වනිඳු වෙනුවට දුෂාන් සංචිතයට

International Cricket

86

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (13දා) පස්වරු 2.30ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය මෙය වීම හේතුවෙන් මෙම තරගය ජයගනිමින් තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දෙපිළම උත්සාහය දරනු ඇත. කෙසේ වෙතත් මෙම තරගාවලියේ දෙවැනි තරගය එළැඹෙන 17 වැනිදාත් තෙවැනි සහ අවසන් එක්දින තරගය 19 වැනිදාත් පැවැත්වීමට සැළසුම් කර තිබේ. එසේම එක්දින තරගාවලියේ පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් දෙවැනි සහ තෙවැනි තරග මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට සැළසුම් කර තිබීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියට පිවිසෙන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ ඉන්දියාවට එරෙහිව සුවිශේෂී එක්දින ජයග්‍රහණ ද්විත්වයටකට පසුවය. ඒ අනුව නවක නායකත්වයක් යටතේ මෙම තරගාවලියට පිවිසෙන නවසීලන්තයට ප්‍රභල අභියෝගයක් ශ්‍රී ලංකාවෙන් එල්ල වනු නොඅනුමානය.
එක්දින තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් අසන්නට  ලැබුණේ එතරම් සුභවාදී තොරතුරක් නොවේ. එනම් පසුගියදා නිමා වූ ශ්‍රී ලංකා - නවසීලන්නත දෙවැනි විස්සයි-20 තරගයේ දී පාදයේ ආබාධයකට ගොදුරු වීම නිසා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට එක්දින තරගාවලියේ සියලු තරග අහිමිව යනු ඇත. ඒ අනුව වනිඳු හසරංග මේ වන විට කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයේදී තම ආබාධය වෙනුවෙන් පුනුරුත්ථාපන කටයුතු ආරම්භ කර ඇත. එසේම වනිඳු වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා සංචිතය වෙත කැඳවා තිබීම ද විශේෂත්වයකි.
නවසීලන්තය සමඟින් පැවැති දෙවැනි විස්සයි-20 තරගයේ පන්දු යවමින් සිටියදී වනිඳු ඉහත ආබාධයට ගොදුරු විය. එසේ වුවත් ආබාධයෙන් පීඩා විඳිමින්ම සිය පන්දුවාර 4 යවා අවසන් කිරීමට වනිඳු කටයුතු කළ අතර එහිදී ලකුණු 17කට කඩුලු 4ක් දවා ගැනීමට ද වනිඳුට හැකි විය.
ඒ අනුව එක්දින තරගාවලියේදී වනිඳුගේ සේවය අහිමි වීම ශ්‍රී ලංකාව පැත්තෙන් බැලූ කළ පිරිමැසිය නොහැකි පාඩැවක් බව පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත් චරිත් අසංලක ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවට මෙම තරගාවලියේදී ද විශාල වගකීමක් පැවරෙන අතර ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ සාර්ථකත්වය මත එක්දින තරගාවලියේ ද ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය වනු ඇත. මෑත කාලයේ දඹුල්ල ක්‍රීඩාංගණයේ තණතීරුවේ හැසිරීම ගැන සැළකීමේදී මෙම තරගයේදී ද දඟ පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදී පැතුම් නිස්සංකට වැඩි වගකීමක් පැවරෙන්නේ නිතැතිනි. පැතුම්ගේ සාර්ථකත්වය ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ සාර්ථකත්වයට තීරණාත්මක බලපෑමක් එල්ල කිරීම ඊට හේතුවයි. එසේ වුවත් නිමා වූ බටහිර ඉන්දීය කොදෙව්-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී පිත්තෙන් දැනෙන යමක් කිරීමට අවිෂ්ක ප්‍රනාන්දුට නොහැකි විය. බොහෝ දුරට අවිෂ්කට මෙම තරගයේදී ද ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසීමේ අවස්ථාව හිමි වනු ඇත. යම් හෙයකින් අවිෂ්ක අසාර්ථක වුවහොත් මෙම තරගාවලියේ දෙවැනි සහ තුන්වැනි තරග වලදී අවිෂ්කගේ ස්ථානය සම්බන්ධයෙන් සැක සහිතය. එසේම අවිෂ්කගේ අසාර්ථක වීම කණ්ඩායමට සුභවාදී තත්ත්වයක් ඇති නොකරයි. විශේෂයෙන් දඹුල්ල තණතීරුවේ හැසිරීම අනුව යම් හෙයකින් මන්දගාමී තණතීරුවක් ලැබුණහොත් අවිෂ්ක අසාර්ථක වීමේ වැඩි ඉඩක් තිබේ. එසේ වුවහොත් චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම සහ ජනිත් ලියනගේට වැඩි පීඩනයක් යොමු වනු නොවැළැක්විය හැකිය.
මේ අතර කුසල් මෙන්ඩිස් ද නිමා වූ දෙවැනි විස්සයි-20 තරගයේ දී පාදයේ ආබාධයකට ගොදුරු විය. එසේ වුවත් ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරන්නේ කුසල්ගේ ආබාධය බරපතල නොවන නිසා ඔහු මෙම තරගයට එක්වනු ඇති බවයි.
එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ මේ වන විට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරග 102ක් පවත්වා තිබේ. ඉන් තරග 52ක ජය නවසීලන්තය හිමිකරගෙන ඇති අතර ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 41ක් පමණි. එසේම ද්වීපාර්ශවීය එක්දින තරගාවලියක දී අවසන් වරට ශ්‍රී ලංකාව තරගාවලියක ජය හිමිකරගෙන ඇත්තේ 2012 වසරේදීය. අවසන් වරට 2023 වසරේ පැවැති ශ්‍රී ලංකා පිලේ නවසීලන්ත සංචාරයේදී ද එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙසින් ජයගත්තේ නවසීලන්තයයි.