සුලෝහිත සංග්‍රාමයේ Bowl Out තරගයේ ජය නාලන්දාවට

ක්‍රිකට් ලොවට අමතක වූ Bowl Out නැවතත්

School Cricket

56

කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාලයන් අතර පැවැත්වෙන 95වැනි ආනන්ද - නාලන්දා සුලෝහිත සංග්‍රාම ක්‍රිකට් තරගයට සමගාමීව පැවැත්වූ තරග ඉසව්ව පසුගිය සිකුරාදා (14) කොළඹ නාලන්දා විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්විණි. ක්‍රිකට් ලොව අමතක වූ ක්‍රීඩා ඉසව්වක් වන Bowl Out තරග අංගය නැවතත් අදාළ විද්‍යාලයන් මෙහිදී අලු‍ත් කළ අතර මෙම ඉසව්ව ඉදිරියේදී වාර්ෂිකව පැවැත්වීමේ සූදානමක් ඇති බවටත් සංවිධායක මණ්ඩලය සඳහන් කළේය.

අද නාලන්දා ක්‍රීඩාංගණයේදී ආනන්ද විද්‍යාලයීය ක්‍රිකට් තරු සහ නාලන්දා විද්‍යාලයීය ක්‍රිකට් තරු අතරත්, දෙවිදුහල් වලින් බිහි වූ ජනප්‍රිය පුද්ගලයන් අතරත් අදාළ පාසල් වල ගුරුවරුන් අතරත් මෙම තරග ඉසව්ව අද පැවැත්විණි. මෙහිදී ගුරුවරු අතර පැවැති තරගයේ ජය ආනන්ද විද්‍යාලයට හිමි වූ අතර ක්‍රිකට් තරු අතර පැවැති තරගයේ ජය නාලන්දා විද්‍යාලයට හිමි විය.

මෙම තරගය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කරමින් චරිත් සේනානායක, නලින් රංගජීව, ප්‍රගීත් හේරත්, දිනුක් හෙට්ටිආරච්චි, ඒශාන් අබේසිංහ සහ වත්මන් ආනන්ද නායක ආශින්ස නයිනායක සහභාගී විය. මෙහිදී නාලන්දාව නියෝජනය කරමින් මහේල ජයවර්ධන, ශාන්ත කලවිටිගොඩ, අශාන් ප්‍රියංජන්, ලක්ෂිත මනසිංහ, ඉෂාර අමරසිංහ සහ වත්මන් නාලන්දා නායක සදෙව් සමරසිංහ සහභාගී වූහ.

එමෙන්ම මෙහිදී දෙවිද්‍යාලවලින් බිහි වූ ජනප්‍රිය තරු අතරද තරග ඉසව්වක් පැවැති අතර එහිදී කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් භාතිය ජයකොඩි, ජනනාත් වරකාගොඩ, සහන් රන්වල සහ රශිත් යාපාත් නාලන්දාව වෙනුවෙන් මිලින්ද මඩුගල්ල, නිරෝෂන් ඉලේපෙරුම, මධුෂාන් නානායක්කාර සහ සඳරු බණ්ඩාරත් සහභාගී විය.