ශ්‍රී ලංකා මාස්ටර්ස් පිල අනිද්දා ඉන්දියාවට

කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම අනිද්දා (19දා) ඉන්දියාවට

International Cricket

56

ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට එක්වීමේ අපේක්ෂෘවෙන් කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම අනිද්දා (19දා) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව ඇති බව වාර්තා වේ. 

ඒ අනුව අදාළ තරගාවලිය මෙම මස 22 වැනිදා සිට මාර්තු මස 16 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වේ. එහි සමාරම්භක තරගය ඉන්දියා මාස්ටර්ස් සහ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම් අතර 22 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ. එහි ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන දෙවැනි තරගය 26 වැනිදා දකුණු අප්‍රිකා මාස්ටර්ස් කණ්ඩායම සමඟින් පැවැත්වේ. එසේම මූලික වටයේ ශ්‍රී ලංකාව එක්වන තෙවැනි තරගය ඕස්ටේ්‍රලියානු මාස්ටර්ස් කණ්ඩායම සමඟින් මෙම ස 28 වැනිදා පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන සිවුවැනි තරගය බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම සමගින් මාර්තු මස 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. මූලික වටයේදී ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම මුහුණදෙන අවසන් තරගය මාර්තු මස 10 වැනිදා එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතව ඇත. 

මෙහි අවසන් පූර්ව තරග මාර්තු මස 12 සහ 14 යන දිනයන්හිදී පැවැත්වීමට සැළසුම් කර තිබේ. 

මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරටයි. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයින් රැසක් එක්වීමට නියමිතව තිබීම ද විශේෂත්වයකි. 

ශ්‍රී ලංකා සංචිතය - කුමාර් සංගක්කාර (නායක), රොමේෂ් කළුවිතාරණ, අශාන් ප්‍රියන්ජන්, උපුල් තරංග, නුවන් ප්‍රදීප්, ළහිරු තිරිමාන්න, චින්තක ජයසිංහ, සික්කුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා