ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ බාලිකා පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මොරටුව වේල්ස් කුමරි බාලිකා විද්‍යාලය සමත්විය.
බාලක ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන මොරටුව පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම බාලිකා පාසල් ක්‍රිකට් පිටියේ පළමු කොටසේ කුළුදුල් ශූරතාවට හිමිකම් කීමට විශ්මි සොයිසාගේ නායකත්වයෙන් යුත් මොරටුව වේල්ස් කුමරි බාලිකා විද්‍යාලය සමත්විය.
පාසල් කණ්ඩායම් 10ක් සහභාගි වූ මෙවර තරගාවලියේ අවසන් තරගය ඉරිදා (16) කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැති අතර, එහිදී මොරටුව වේල්ස් කුමරි බාලිකා විද්‍යාලය මෙවර තරගාවලියේ අපරාජිතව පසුවෙමින් වාර්තා රැසකට හිමිකම් කී නුගේගොඩ අනුලා විද්‍යාලය ලකුණු 149කින් පැරදවීය.
කාසියේ වාසිය හිමිකරගත් නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් මොරටුව වේල්ස් කුමරි බාලිකා විද්‍යාල පිල තම ඉනිම වෙනුවෙන් නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 247ක් රැස් කළේය. පිළිතුරු ඉනිම දියත්කළ නුගේගොඩ අනුලා විද්‍යාලය පන්දුවාර 32.2කදී ලකුණු 98කට සීමා කිරීමට වේල්ස් කුමරි පන්දු යවන්නියන් සමත්වූහ.
මොරටුව වේල්ස් කුමරි බාලිකා විද්‍යාල ඉනිම වෙනුවෙන් නායිකා විශ්මි සොයිසා ලකුණු 71ක් රැස් කළ අතර, එම ඉනිම ගොඩනැංවීමට උමයංගනා පීරිස් (46) සහ ශෂානි පෙරේරා (26) දායකවූ අතර, දිනදි තිනායා ලකුණු 28කට කඩුලු 2ක් දවාලීමට සමත්වූවාය.
අනුලා ඉනිම ගොඩනැංවීමට දැහැමි සනෙත්මා (29) සහ යෙනුලි සත්නදී (27) දායක වූ අතර, වේල්ස් කුමරි පිලේ, ඉමාෂා චලනි ලකුණු 21කට කඩුලු 4ක් සහ දිනිති දේවින්ද්‍යා ලකුණු 11කට කඩුලු 2ක් දවාලීමට සමත්වූවාය.
ලකුණු සාරාංශ
මොරටුව වේල්ස් කුමරි බාලිකා විද්‍යාලය: 247/7 (පන්දුවාර 50) විශ්මි සොයිසා 71, උමයංගනා පීරිස් 46, ශෂානි පෙරේරා 26, දිනදි තිනායා 28/2
නුගේගොඩ අනුලා විද්‍යාලය: 98 (පන්දුවාර 32.2) දැහැමි සනෙත්මා 29, යෙනුලි සත්නදී 27, ඉමාෂා චලනි 21/4, දිනිති දේවින්ද්‍යා 11/2