අයි.සී.සී ශූරයන්ගේ කුසලානය අද සිට

පාකිස්තානයේදී සහ ඩුබායි නුවරදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලානය

International Cricket

69

2025 අයි.සී.සී. ශුරයන්ගේ කුසලාන තරගාවලිය අද (19දා) ආරම්භ වීමට නියමිතය. පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර ශුරයන්ගේ කුසලාන තරගාවලිය පාකිස්තානයේදී සහ ඩුබායි නුවරදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් පාකිස්තානය සහ නවසීලන්තය පාකිස්තානයේ කරච්චි ක්‍රීඩාංගණයේදී පළමු තරගයේ ක්‍රීඩා කරයි. මෙම තරගයට පෙර කරච්චි ක්‍රීඩාංගණයේදී තරගාවලියේ සමාරම්භක උළෙලක්ද සංවිධානය කර තිබේ. දිවා-රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන පළමු තරගයේදී පාකිස්තාන කණ්ඩාමට මොහොමඩ් රිස්වාන් නායකත්වය ලබා දෙන අතර නවසීලන්ත කණ්ඩායමට මිචෙල් සැන්ටර් නායකත්වය දෙයි. නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු බළඇණියේ පළපුරුදු පන්දු යවන්නා වූ ලොකී ෆර් ගියුසන් ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලියේ ඉවත් කර තිබේ. ඒ වෙනුවට වේග පන්දු යවන කයිල් ජේම්සන් නවසිලන්ත සංචිතයට ඇතුළත් කර තිබේ. නවසීලන්ත වේග පන්දු යවන බෙන් සියර් ස්ටද ආබාධ තත්ත්වයක් හේතුවෙන් ශූරයන්ගේ කුසලාන තරගාවලිය අහිමි වී තිබේ. 

මෙවර තරගාවලියට ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබා ගෙන ඇත. කෙසේ නමුත් මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් සුදුසුකම් නොලැබීම කැපී පෙනිණි. ශ්‍රී ලංකාව ශූරයන්ගේ කුසලාන තරගාවලියකට ක්‍රීඩා නොකරන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. 

කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලියක් පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන්නේ වසර 29කට පසුවය. ඒ අනුව 1996 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පසු පාකිස්තානයේ පැවැත්වෙන අයි.සී.සීය මෙහෙයවන ප්‍රධාන ක්‍රිකට් තරගාවලිය මෙය වෙයි. තරගාවලිය වෙනුවෙන් පාකිස්තානයේ සංචාරය කිරීම ඉන්දිය කණ්ඩායම විසින් ප්‍රතික්ෂේප කළ නිසා ඉන්දියාව ක්‍රීඩා කරන තරග ඩුබායිහිදී පැවැත්වීමට තීරණය කෙරුණි. ඒ අනුව තරගාවලියේ දෙවැනි තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඩුබායිහිදී පැවැත්වේ. ඒ අනුව තරගාවලියේ මූලික වටයේ ඉන්දියාව ක්‍රීඩා කරන තරග තුන සහ පළමු අවසන් පූර්ව තරගය මාර්තු 4 වැනිදා ඩුබායිහිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. දෙවැනි අවසන් පූර්ව තරගය මාර්තු 5 වැනිදා පාකිස්තානයේ ලාහෝර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලියේ අවසන් තරගය මාර්තු 9 වැනිදා පැවැත්වීමට සැලසුම් කළද එහි පැවැත්වෙන ක්‍රීඩාංගණය පිළිබඳව මේ වන තුරු තීරණයක් ගෙන නැත. ඒ අනුව අවසන් තරගයට ඉන්දියාව සුදුසුකම් ලැබුවහොත් තරගාවලියේ අවසන් තරගය ඩුබායිහීදිත් ඉන්දියාව සුදුසුකම් නොලැබුවහොත් අවසන් තරගය පාකිස්තානයේ ලහෝර් නුවරදීත් පැවැත්වෙනු ඇත.

තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරේදා (17දා) පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා කියා සිටියේ තරගාවලියේදී ක්‍රීඩකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි. කෙසේ නමුත් තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැත්වෙන කරච්චි ක්‍රීඩාංගණය දැක්වෙන වීඩියෝවක තරගාවලියේ ක්‍රීඩා කරන රටවල කොඩි අතර ඉන්දීය කොඩිය නොමැති වීම ඉන්දියානුවන්ගේ විරෝධයට හේතු වී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රීඩා බලධාරින් පවසා ඇත්තේ තරගාවලිය වෙනුවෙන් පාකිස්තානයේ ක්‍රීඩා කරන රටවල ධජ පමණක් එසැවීමට ඔවුන් කටයුතු කළ බවයි