දසුන්ට දඩයක්

ඇමෙරිකන් ඩොලර් 10,000

International Cricket

66

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානකට දඩ මුදලක් නියම කළ බව ක්‍රිකට් ආයතනය ඊයේ (20දා) නිල වශයෙන් නිවේදනය කළේය. 

ක්‍රිකට් ආයතනය සමඟින් අස්සන් තබා ඇති ක්‍රීඩක ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීම මෙලෙස ඇමෙරිකන් ඩොලර් 10,000ක දඩයක් දසුන් වෙත නියම කිරීමට හේතුවී තිබේ.

මේ දිනවල පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් තෙදින් ක්‍රිකට් තරගාවලියේ කොළඹදී පැවැති තරගයකදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් එම තරගයෙන් ඉවත් වීමට දසුන්ට සිදුව තිබිණි. 

කෙසේ වෙතත් එම තරගයේදී මුහුණදුන් ආබාධය සම්බන්ධයෙන් දසුන් ලබා දී තිබූ වෛද්‍ය වාර්තාවේ ඔහු විවේක ගැන්විය යුතු බවට නිර්දේශ කර තිබූ බවත් එම නිසා තරගයේ ඉතිරි කොටස සඳහා දසුන් එක් නොවූ බවත් සඳහන්ය. එසේ වුවත් මෙලෙස ආබාධයකට ගොදුරු වූ දිනයේම පස්වරුවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ජාත්‍යන්තර ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට දසුන් එක්වී ඇත. 

මෙම ක්‍රියාව ක්‍රිකට් ආයතනය සමඟින් අස්සන් තබා ඇති ක්‍රීඩක ගිවිසුමේ ක්‍රීඩකයින්ගේ වෘත්තීයමයභාවය ඇතුළු වගන්ති කිහිපයක් උල්ලංඝනය කිරීමක් ලෙස සළකා ඇති බව ක්‍රිකට් ආයතනය මගින් නිකුත් කර තිබූ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. ඒ අනුව මේ සම්බන්ධයෙන් පැවැති විශේෂ පරීක්ෂණයේදී දසුන් තම වරද පිළිගෙන ඇති අතර සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කර ඇති බව ද සඳහන්ය. එසේම මෙය වංක චේතනාවෙන් සිදු නොකළ බවත් දසුන් එහිදී සඳහන් කළ බව ද මේ පිළිබඳ ක්‍රිකට් ආයතනය නිකුත් කර තිබූ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබිණි.