62 වැනි සහෝදරයින්ගේ සංග්‍රාමය හෙට සිට

තර්ස්ටන් ඉසිපතන සහෝදරයන්ගේ සංග්‍රාමය 2025

School Cricket

45

 කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර 62 වැනි වරටත් පැවැත්වෙන සහෝදරයන්ගේ සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට (21දා), 22 සහ 23 යන තෙදින කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගය මෙවර තුන් දින තරගයක් ලෙසින් පළමු වරට ක්‍රියාත්මක වීම ද විශේෂත්වයකි. 

1964 වසරේ දී ආරම්භ වූ මෙම

සහෝදරයින්ගේ සංග්‍රාම ඉතිහාසයේ මෙතෙක් නිමා වූ තරග අතුරින් තර්ස්ටන් විද්‍යාලය ජයග්‍රහණ 6ක් ලබා ගනිමින් ඉදිරියෙන් පසුවෙන අතර ඉසිපතන විද්‍යාලයට ජයගත හැකිව ඇත්තේ තරග 4ක දී පමණයි. තරග ඉතිහාසයේ එක් වරක් තරගය නොපවත්වා ඇති අතර අනෙක් තරග 50 නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.

සහෝදරයන්ගේ සංග්‍රාම ඉතිහාසයේ අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා වෙන්නේ 2019 වසරේදීයි. එහි දී ගෞරවය කඩුලු‍ 10කින් තරගය ජයගන්නා ලද්දේ තර්ස්ටන් කණ්ඩායම විසිනි. ඉසිපතන විද්‍යාලය අවසන් වරට සහෝදරයන්ගේ සංග්‍රාම කුසලානයක් තමන් සන්තක කරගෙන ඇත්තේ 1999 වසරේ දීය. 

මෙවර සහෝදරයින්ගේ සංග්‍රාමයේදී ඉසිපතන විද්‍යාලය මෙහෙයවීමේ වගකීම ලෙසඳු කල්පගේ සතු වෙන අතර තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවැරී තිබෙන්නේ තනුග පළිහවඩන වෙතයි.

ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම - ලෙසඳු කල්පගේ (නායක), චනුල් දිනෝත් (උප නායක), දුශාන් මාලිංග, දසිත් පෙරේරා, රුචිත් රොද්‍රිගෝ, රන්මිත් සෙනරත්, මලීෂ සඳරුවන්, තිතිර සංසිර, නවිඳු හෙට්ටිආරච්චිගේ, මොහොමඩ් අස්ජාඩ්, මෙනුල සදෙව්, දිමුතු තාරුක, විදුන් ගෙනුර, රමිරු ගෙශාන්, ජනිත කවිශාන්, සනිජ රහල්, යසිරු අභිශේක් සහ යෙෂිඳු මනීශ. 

තර්ස්ටන් විද්‍යාලයීය කණ්ඩායම - තනුග පලිහවඩන (නායක), තනුජ රාජපක්ෂ (උප නායක), විහස් තෙව්මික, ලසිඳු පුන්සර, රුවීන් තරුශික, සචින් ප්‍රේමසිංහ, රචින්ත ද සිල්වා, රිසෝන් ජන්සීන්, දිනාල් ඉඳුවර, බිනුප තත්මිර, යොවුන් සිල්ප, සෙත්රූ ප්‍රනාන්දු, තිසේන් වික්‍රමරත්න, සවිඳු දිසානායක, කෙමිත් සෙචිත, ජනිත රුක්ෂාන්, ජනුල් දම්හිරු, සෙමික රත්නසිරි, පැතුම් ධනංජය සහ හිරුෂාන් ඩයස්.