නිෂාන්ට ටෙස්ට් වරම්

දෙවැනි ටෙසට් තරගය අද

International Cricket

118

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අද පෙරවරු 10.00 සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ. 

කෙසේ වෙතත් මෙම තරගාවලියේ පැවැති පළමු තරගයෙන් ලකුණු 63ක පහසු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි. ඒ අනුව තරගාවලියේ තරග 1-0ක් ලෙසින් පෙරමුණ ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. එම නිසා මෙම තරගයෙන් ජය ගැනීම හෝ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් කර ගැනීම ධනංජය ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ වී ඇති බවට සැකයක් නැත. 

එසේම මෙම තරගයෙන් ජය හිමිකර ගතහොත් ලෝක ශූරතා ටෙස්ට් ප්‍රසාද  ලකුණු සටහනේ ජයග්‍රහණ ප්‍රතිශතය සියයට 55ක් දක්වා ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවනු ඇත. එසේම මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුවහොත් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ප්‍රතිශතය සියයට 48ක් දක්වා අඩු වනු ඇත. 

තත්ත්වය එසේ වුවත් පළමු තරගයෙන් ලද අමිහිරි පරාජය හේතුවෙන් කෙසේ හෝ මෙම තරගය ජයගනිමින් තම ගෞරවය රැක ගැනීමට නවසීලන්තය උත්සාහ දරනු ඇත. ඊට අමතරව එළැඹෙන ඔක්තෝබර් මාසයේ දී නවසීලන්ත කණ්ඩායම ඉන්දියාවේ තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා එක්වීමට නියමිතව තිබේ. අසීරු අභියෝගයක් වන එම තරගාවලියට යහපත් මානසිකත්වයකින් මුහුණදීමේ අරමුණින් ශ්‍රී ලංකාව සමඟින් අද ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීම හෝ ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට නවසීලන්තය තම උපරිම ශක්තිය යෙදවීම නොඅනුමානය. 

මෙවන් පසුබිමක අද තරගය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි. එහිදී වෙනස්කම් දෙකක් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසීමට තීරණය කර තිබීම විශේෂත්වයකි. එහිදී වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක කණ්ඩායමට කැඳවා තිබේ. දඟ පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය ගාල්ල තණතීරුවේ අමතර පිතිකරුවෙකුගේ සේවය ලබා ගැනීමත් වේග පන්දු යවන්නනකුගේ වගකීම ඉටු කිරීමට ඇති හැකියාවත් හේතුවෙන් මිලාන්ට මෙම අවස්ථාව හිමිව තිබේ. එසේම නිමා වූ එංගලන්ත තරග සංචාරයේදී මිලාන් පිත්තෙන් සහ පන්දුවෙන් දැක්වූ ඉහළ දස්කම් ද ඊට හේතු වූ බව නොරහසකි. 

ඊට අමතරව දකුණත් දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ට මෙම තරගයේදී විවේකයක් ලබා දීමට තීරණය කර තිබීම ද විශේෂත්වයකි. රමේෂ් වෙනුවට නවක දඟ පන්දු යවන්නකු වන නිෂාන් පීරිස් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබේ. කෙසේ වෙතත් නිෂාන් පීරිස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවනු ලැබූයේ පාදයේ ආබාධයකට ගොදුරු වූ වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු වෙනුවටය. ඒ අනුව නිෂාන් පීරිස් ශ්‍රී ලංකාවේ 167 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් වාර්තා අතරට එක්වනු ඇත. 

මේ වන විට 21 හැවිරිදි වියේ පසුවන නිෂාන් පීරිස් පළමු පෙල තරග 41කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 172කි. එසේම පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේදී ද නිෂාන් පීරිස් පන්දුවෙන් ඉහළ දස්කම් දැක්වීය. 

කෙසේ වෙතත් මෙම තරගයේදී ද ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිමේදී සිය වගකීම නිසි පරි දි ඉටු කිරීම ජයග්‍රහණය සඳහා මූලික අඩිතාලම සපයනු ඇත. ඒ අනුව එංගලන්තය සමඟින් පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ දී පිත්තෙන් සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ සාර්ථකත්වය මෙම තරගයේදී තීරණාත්මක සාධකයක් බවට පත්වනු ඇත. එසේ වුවත් නවසීලන්තය සමඟින් පැවැති පළමු තරගයේ දී පිත්තෙන් සුපුරුදු දස්කම් අතරට ලඟා වීමට පැතුම්ට නොහැකි විය. 

ඊට අමරතව මෙම තරගයේදී අර්ධ ශතකයක් ලබා ගතහොත් ලෝක වාර්තාවක් තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු කමිඳු මෙන්ඩිස්ට හැකිවනු ඇත. එනම් තම පළමු ටෙස්ට් තරග 8 තුළදී සෑම තරගයකම ලකුණු 50ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඉනිමක වාර්තා කළ ලොව පළමු පිතිකරු බවට කමිදු පත්වනු ඇත. 

එසේම පලමු තරගයේදී මෙන්ම මෙහිදී ද ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ අංක 3 පිතිකරු ලෙසින් දිනේෂ් චන්දිමාල් කටයුතු කරනු ඇත. ඒ අනුව කඩුලු රැකීමේ වගකීමත් අංක 7 පිතිකරුගේ වගකීමත් හිමිව ඇත්තේ කුසල් මෙන්ඩිස්ටය. 

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම - දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජිලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස්, නිෂාන් පීරිස්, ප්‍රභාත් ජයසූරිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු.