කොදෙව්වන් හමුවේ තරගාවලි ජයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හෙට තරගයට

දඟ පන්දුව උපායක් ලෙස යොදා ගත්තා - දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග

International Cricket

109

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය හෙට (23දා) පස්වරු 2.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. 

කෙසේ වෙතත් පසුගියදා පැවැති පළමු එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකාව මේ වන විට තරග 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන තිබේ. ඒ අනුව මෙම තරගය ජයගතහොත් තරග 3කින් යුත් එක්දින තරගාවලියේදී ද තරගයක් ඉතිරිව තිබියදීම ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත. කෙසේ වෙතත් අවසන් වරට ශ්‍රී ලංකාව කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගාවලියක් ජයගෙන ඇත්තේ 2019 වසරේදීය. එම අවස්ථාවේදී තරග 3කින් යුත් තරගාවලිය තරග 3-0ක් ලෙසින් ජයගත්තේ ශ්‍රී ලංකාවයි. 

ඒ අනුව මෙම තරගය සඳහා ද පළමු තරගයේ දී යොදා ගත් උපක්‍රමය භාවිතා කරමින් කොදෙව්වන් පාලනය කිරීම ශ්‍රී ලංකාවේ සැළසුම බවට සැක නැත. එනම් දඟ පන්දු යවන්නන් වැඩි වශයෙන් යොදා ගනිමින් පල්ලෙකැලේ තණතීරුවේදී කොදෙව් පිතිකරුවන්ගේ රිද්මය බිඳ දැමීම මෙහිදී ද ශ්‍රී ලංකාවේ උපක්‍රමය වනු ඇත. 

එසේම මෙහි දී ද පළමු තරගය සඳහා ක්‍රීඩා කළ කණ්ඩායමම යොදා ගැනීමට වැඩි අවස්ථාවක් ඇති බව ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරංචිමාර්ග සඳහන් කරයි. 

එසේම කොදෙව්වන්ට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට නම් මෙම තරගය ජය ගැනීම අනිවාර්යය කරුණකි. එහිදී පළමු තරගයේදී මෙන්ම කොදෙව් වේගපන්දු යවන්නන්ගෙන් පල්ලෙකැලේ තණතීරුවේදී එල්ල විය හැකි අභියෝගය කිසි විටෙකත් සුළුකොට තැකිය නොහැකිය. එනම් පළමු තරගයේදී ද ලකුණු 40ක් වෙද් දී ශ්‍රී ලංකා මුල්පෙල පිතිකරුවන් තිදෙනාම ක්‍රීඩා ගාරයේ නරඹන්නන් බවට පත් තිබිණි. ඒ අනුව මෙම තරගයේදී අල්සාරි ජෝසප් සහ ගුඩ්කේෂ් මෝටි යන පන්දු යවන්නන් දෙදෙනාට මුහුණදීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සතුව සාර්ථක සැළසුමක් තිබීම ජයග්‍රහණය සඳහා බලාපොරොත්තු තබා ගැනීම වෙනුවෙන් වඩාත් තීරණාත්මක සාධකයක් වනු නොඅනුමානය. 

ඊට අමතරව පළමු තරගයේ දී මෙන්ම මෙම තරගයේදී ද වර්ෂාව තරගයට යම් බලපෑමක් එල්ල කිරීමට ඉඩ තිබේ. 

මේ අතර දෙවැනි තරගය වෙනුවෙන් ඊයේ (22දා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ලංකා දඟ පන්දු පුහුණුකරුවා කියා සිටියේ කොදෙව් පිතිකරුවන්ට එරෙහිව දඟ පන්දුව උපායක් ලෙසින් මෙම තරගාවලියේ දී යොදා ගත් බවයි. ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙලෙස ද අදහස් දැක්වූ පියල් විජේතුංග ‘විස්සයි-20 තරගාවලියේදීත් මෙම තරගාවලියේදීත් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමේදී දඟ පන්දු යවන්නන් අපේ බලාපොරොත්තුව වෙලා තිබෙනවා. අපේ උපාය බවට පත් වුණේ එයයි. අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා දඟ පන්දු යවන්නන් ඒ රාජකාරිය ඉටු කර දේවි කියා. එම නිසා තමයි විස්සයි-20 තරගාවලියේ සිටම දඟ පන්දු යවන්නන් තිදෙනෙක් සෑම අවස්ථාවකම අපි යොදා ගන්නේ. විශේෂයෙන් පන්දුව දඟ කැවෙද්දී කොදෙව් පිතිකරුවන් ඊට මුහුණදීමේ යම් දුර්වලතාවයක් දක්වනවා. අපි ඒ වාසියත් ලබාගෙන දඟ පන්දු යවන්නන් තිදෙනකු යොදා ගන්නවා.’ යනුවෙන් පැවැසීය. 

පළමු එක්දින තරගයේදී දකුණත් පා දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු යොදා ගැනීමට ගනු ලැබූ තීරණය පිළිබඳව යොමු වූ පැනයකට පිළිතුරු ලබා දුන් පියල් විජේතුංග මෙලෙස පැවැසීය. ‘වනිඳු සහ වැන්ඩර්සේ දකුණත් දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් ලෙස හැඳින්වුවත් ඔවුන් දෙදෙනා ආකාර දෙකක්. වනිඳු සාම්ප්‍රදායික පා දඟ පන්දු යවන්නෙක් නොවෙයි. ඔහු සෑම විටම කඩුලු ලබා ගන්නේ විවිධාංගීකරණයෙන් යුත් පන්දු යොමු කරමින්. නමුත් ජෙෆ්රි සාම්ප්‍රදායික පා දඟ පන්දු යවන්නෙක්. එසේම කොදෙව් පිතිකරුවන් කඩුල්ලෙන් ඉවතට පන්දුව යොමු කරද්දී ඊට යම් දුර්වලතාවයක් දක්වනවා. ඒකත් එක් හේතුවක් මෙලෙස දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් කණ්ඩායමට එක් කරන්නට. ඊට අමතරව වනිඳු කියන්නේ අපේ අංක 1 දඟ පන්දු යවන්නා. ජෙෆ්රි අවසන් වරට ඉන්දියාව සමඟින් ක්‍රීඩා කළ අවස්ථාවේ කඩුලු 6ක් දවා ගත්තා. එම නිසා ඔවුන් දෙදෙනාව එළියේ තියන්න හැකියාවක් නැහැ.’ 

මේ අතර පැතුම් නිස්සංක පිළිබඳව ද මෙලෙස අදහස් දැක්වූ දඟ පන්දු පුහුණුකරුවා. ‘අපි තවම අවසන් කණ්ඩායම තෝරාගෙන නැහැ. ඔහු පුහුණුවීම් සඳහා යොමු කළේ, හෙට තරගය සඳහා ශාරීරික යෝග්‍යතාව කෙසේද යන්න විමසා බැලීම වෙනුවෙනුයි. ඒ අනුව කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා ලබා දෙන වාර්තාව අනුව ඔහු ගැන තීරණය ගන්නවා.’ 

කෙසේ වෙතත් උපායක් ලෙස දඟ පන්දු යවන්නන් යොදා ගත්ත ද ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගාවලින්හිදී වේග පන්දු යවන්නන්ගේ ඉරණම කෙලෙස වනු ඇත්දැයි යොමු වූ පැනයකට පියල් විජේතුංග මෙලෙස පිළිතුරු ලබා දුන්නේය. ‘මේ වන විට අපේ සංචිතයේ ඉන්නේ එක් වේගපන්දු යවන්නෙක් පමණයි. එමෙන්ම තණතීරුව දඟ පන්දු යවන්නන්ට සහායක් දක්වන්නේ නම් උපරිම කාර්යය සිදු කළ යුතු වන්නේ දඟ පන්දු යවන්නන් විසිනුයි. කෙසේ වෙතත් අවසන්වරට පැවැති එංගලන්ත සංචාරයේ දී අපගේ වේගපන්දු යවන්නන් විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කළා. වේගපන්දු යවන්නන්ට ස්තුතිවන්ත වන්න, අපි එංගලන්තය සමගින් අවසන් ටෙස්ට් තරගය ජයගත්තා. ඒ අනුව හොඳ වේගපන්දු යවන්නන් අපි සතුව සිටිනවා. ඔවුන්ට ඕනෑම අවස්ථාවක කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ශක්තිය තිබෙන බව මට විශ්වාසයි.’