අයි.සී.සී. දූෂණ මර්ධන මහ පුටුව ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධනට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙක්

International Cricket

94

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා පත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර තිබූ නිල නිවේදනයේ සඳහන් කර තිබුණේ හෙට (1දා) දිනයේ සිට සුමති ධර්මවර්ධන මහතා එම තනතුරේ වගකීම් භාරගනු ඇති බවයි. මෙහිදී  නව සභාපතිවරයා ලෙස ධර්මවර්ධන මහතා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ කටයුතු අධීක්ෂණය සහ මෙහෙයැවීම සම්බන්ධයෙන් වගකීම් දරනු ඇත. එපමණක් නොව අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයේ කටයුතු එහි විධායක කමිටුව මගින් පමණක් සෘජුව කලමනාකරණය වන බවද අදාළ නිවේදනයේ සඳහන්ය.
ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් වරයා ලෙස සේවය කරමින් අත්දැකීම් සම්භාරයක් ලබා ඇති අතරම විවිධ නීතිමය කටයුතු සම්බන්ධයෙන් අවස්ථා රැසකදී ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයේ සභාපතිවරයා ලෙසින් පත් වීමට පෙර ධර්මවර්ධන මහතා, ජාත්‍යන්තර පොලිසිය, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමඟින් එක්ව විමර්ෂණ කටයුතු සහ ක්‍රීඩාවේ දූෂණ සම්බන්ධයෙන් ද විමර්ෂණය කිරීම සිදු කොට තිබේ. ඊට අමතරව ධර්මවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනතට අදාළ වැරදි වැළැක්වීමේ පනත යටතේ විමර්ෂණ සහ නඩු පැවරීම් කිහිපයක් අධීක්ෂණය කළ කීර්තිමත් නිලධාරියකු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම පත්කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබූ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබිණි.
මින් පෙර අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ සර් රොනී ෆ්ලැනගන්, සිය 14 වසරක සේවා කාලය නිම කරමින් පසුගියදා එම තනතුරින් ඉවත්වීමට තීරණය කළේය.