නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා 20-20 තරග සංචාරයේ නිල සංචිතය ප්‍රකාශයට පත් කරයි .

ශ්‍රී ලංකාවට එන නවසීලන්ත සංචිතයේ නායකත්වය සැන්ට්නර්ට

International Cricket

15

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව ඇති එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා එක්වන නවසීලන්ත සංචිතය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි. එහිදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයැවීමේ වගකීම දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සැන්ට්නර්ට හිමිව තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 තරග සංචාරයට එක්වන නවසීලන්ත සංචිතයට ඇතුළත් සාමාජිකයින් සංඛ්‍යාව 15කි.
කෙසේ වෙතත් මෙහිදී තාවකාලික පදනම යටතේ මිචෙල් සැන්ට්නර් නායකත්වයට පත් කර ඇති බව ද සඳහන්ය. එසේම එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කර තිබූ නිවේදනයක දක්වා තිබුණේ ඉදිරියේදී නවසීලන්ත එක්දින සහ විස්සයි-20 කණ්ඩායමේ නිත්‍ය නායකයා නිවේදනය කිරීමට සැළසුම් කර ඇති බවයි.
එසේම කේන් විලියම්සන් නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් නවසීලන්තය මුහුණදෙන පළමු එක්දින සහ විස්සයි-20 තරග සංචාරය ද මෙයයි.
එපමණක් නොව එංගලන්තය සමඟින් පැවැත්වීමට සැළසුම් කර ඇති ටෙස්ට් තරගාවලිය ඉලක්ක කර ගනිමින්, ටොම් බ්ලන්ඩල්, ඩෙවෝන් කොන්වේ, ටොම් ලැතම්, ඩැරල් මිචෙල්, විල් ඕරෝක්, රචින් රවින්ද්‍රා, ටිම් සවුති සහ කේන් විලියම්සන් මෙම ශ්‍රී ලංකා සංචාරයට එක් කර නොතිබීම ද විශේෂත්වයකි.
නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා විස්සයි-20 තරග 2ක් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 3ක් ඇතුළත්ය. එහි පළමු විස්සයි-20 තරගය එළැඹෙන නොවැම්බර් 9 වැනිදාත්, දෙවැනි තරගය 19 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට සැළසුම් කර ඇත. එක්දින තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 13 වැනිදා පැවැත්වීමට සැළසුම් කර ඇත්තේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිළිවෙලින් 17 සහ 19 යන දිනයන්හි දී පැවැත්වීමට සැළසුම් කර ඇත්තේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
නවසීලන්ත සංචිතය - මිචෙල් සැන්ට්නර් (නායක), මයිකල් බ්‍රේස්වෙල්, මාක් චැප්මන්, ජොෂ් ක්ලාර්සන්, ජේකොබ් ඩෆී, ලුකී ෆර්ගියුසන්, සැක් ෆෝල්ක්ස්, ඩීන් ෆොක්ස්ක්‍රොෆ්ට්, මැච් හේ, හෙන්රි නිකොල්ස්, ග්ලේන් පිලිප්ස්, ටිම් රොබින්සන්, නේතන් ස්මිත්, ඉෂ් සෝධි, විල් යංග්