ආසියානු කුසලානයේ අභියසට පැමිණි ශ්‍රී ලංකා පිල

නැඟී එන ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ ‘ඒ’ අවසන් පූර්ව වටයට

International Cricket

15

ඕමානයේදී පැවැත්වෙන නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පෙරේදා (22දා) රාත්‍රියේ සමත් විය.

මූලික වටයේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මුහුණදුන් අවසන් තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 19ක ජයක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීම කැපී පෙනිණි. එහිදී ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ පිල අවසන් පූර්ව වටයට පිවිසි අතර දෙවැනි ස්ථානයේ පසු වූ ඇෆග්නිස්තානය ද අවසන් පූර්ව වටයට පිවිස තිබිණි.
මෙවර නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග හෙට (25දා) පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇතතේ 27 වැනිදාය.
ඕමානයේ අල් අමරට් ක්‍රීඩාංගණයේ දී පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කලේය. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7කට ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව 161කි. එහිදී පවන් රත්නායක ලකුණු 42ක්, සහන් ආරච්චිගේ ලකුණු 30ක්, ලහිරු උදාර ලකුණු 35ක්, යශෝධ ලංකා ලකුණු 23ක් රැස්කරමින් දස්කම් දැක්වූහ.
බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේදී රිපොන් මොන්ඩාල් සහ රෙයිජුර් රහමාන් කඩුලු 2 බැගින් බිඳහෙලූ අතර මහ්ෆුසුර් රහමාන් සහ සායිෆ් හසන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ‘ඒ’ පිලට පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 7කට රැස්කරගත හැකි වූයේ ලකුණු 142ක් පමණි. හුදෙකලා සටනක නිරත වූ අබු හයිඩර් නොදැවී ලකුණු 38ක් ලබා ගත්තේය. සායිෆ් හසන් ලකුණු 29ක් සහ පර්විස් හුසේන් ලකුණු 24ක් රැස්කරගත්තේය.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත කඩුලු 3ක් දවා ගත් අතර නිමේෂ් විමුක්ති, රමේෂ් මෙන්ඩිස්, ඒෂාන් මාලිංග සහ නිපුන් රංසික අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.