බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළව පැවත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් ද කඩුලු 5ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරේදා (23දා) රාත්‍රියේ හැකියාව ලැබිණි. ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0ක් ලෙසින් ශ්‍රී ලංකාව ජයගෙන අවසන්ය. කෙසේ වෙතත් කණ්ඩායමක් ලෙස ඉදිරියේ දී පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 ලෝක කුසලාන ඉලක්ක කර ගනිමින් ඒවාට සූදානම් වීම මෙම තරගාවලි තුළ සිදු කරන බව වනිඳු කියා සිටියේය. ඔහු මෙලෙස අදහස් දැක්වූයේ දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව අමතමිනි. එහිදී වැඩිදුරටත් මෙලෙස ද අදහස් දැක්වූ වනිඳු ‘කණ්ඩායමක් ලෙස අපි ලබා ගත් හොඳ ජයග්‍රහණයක් ලෙස මෙය හැඳින්විය හැකියි. ඉන්දියාව සමගින් පැවැති එක්දින තරගාවලියත් ජයග්‍රහණය කරමින් අපි මෙම තරගාවලියේත් තරග 2කදීම තරගාවලිය ජයගැනීමට සමත් වුණා. ඉදිරියේදී වසර කිහිපයක් තුළ එක්දින සහ විස්සයි-20 ලෝක කුසලාන දෙකක් එනවා. ඒවා ඉලක්ක කරගනිමිනුයි අපි කණ්ඩායමක් ලෙස ඉදිරියට යන්නේ. ඒ අනුව මෙම ජයග්‍රහණය ඉදිරි තරගාවලි සඳහා අපිට ගොඩක් වැදගත් වෙනවා.’ ලෙසින් සඳහන් කළේය.
එසේම චරිත් අසලංකගේ නායකත්වය පිළිබඳව ද මෙහිදී මෙලෙස අදහස් දැක්වූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නා ‘වයස අවුරුදු 13න් පහළ සිටම චරිත් මගේ නායකයායි. ඔහුට මොනවාද කරන්න පුළුවන් කියා මම දන්නවා. එවගේම ඔහු කෙතරම් හොඳ නායකයෙක් ද යන්න මම දන්නවා. මම වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරද්දීත් ඔහු නායකයා. පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව නිමා වන තෙක් ඔහු මගේ නායකයා. එම නිසා ඔහු නායකයෙක් ලෙස ගන්නා තීරණ මොනවාද සහ ඒවා හරිද වැරදිද කියා මම හොඳින් දන්නවා. එසේම සෑම අවස්ථාවකම ඔහු ධනාත්මකයි. නායකයකු සතු හොඳම ගුණාංග ඔහු සතුව තිබෙනවා. ඒ අනුව නායකයාට අවශ්‍ය උපරිම දේ ලබා දෙමින් ජයග්‍රහණ කරා යෑම අපේ සැළසුමයි.‘ යනුවෙන් පැවැසීය.
එසේම මෙම ජයග්‍රහණය ගැන වැඩිදුරටත් මෙසේ ද කරුණු දැක්වූ වනිඳු පැවැසූයේ මෙවැන්නකි. ‘අපි අපේ ශක්තියට ක්‍රීඩා කළා සහ ඔවුන්ගේ දුර්වලතා හඳුනාගෙන මෙම තරගාවලියේ දී අපි ක්‍රීඩා කළා. ඔවුන්ගේ පිතිකරුවන් කෙතරම් වේගයෙන් ලකුණු ලබා ගත හැකි පිතිකරුවන් ද යන්න අපි දන්නවා. ඔවුන්ට ඕනෑම අවස්ථාවක වේගවත් පහරවල් එල්ල කරන්න හැකියාව තිබෙනවා. ඒ අනුව අපේ දඟ පන්දු යවන්නන් සමඟින් ලබා ගත් හොඳ ජයග්‍රහණයක් ලෙස මෙය හැඳින්විය හැකියි. එසේම මෙම තරගයේදී අපි උත්සාහ කළේ ලොකු ලකුණු සංඛයාවකට ලඟා වීමට ඔවුන්ට අවස්ථාව ලබා නොදී පන්දු යැමවීයි. නමුත් රදර්ෆර්ඩ් සහ මෝටි හොඳ සම්බන්ධතාවයක් ගොඩනගමින් ලකුණු පුවරුව ඉහළ දැම්මා.’
එසේම පන්දු යවන්නකු ලෙස මෙම තරගාවලියේදී තමන් දැක්වූ පෞද්ගලික දක්ෂතා ගැන සතුටු වන බව ද කියා සිටි වනිඳු ‘ඇත්තටම ගොඩක් සතුටුයි. හොඳින් පන්දු යවන ගමන් තරග ජයගන්න අපිට හැකි වුණා. කන්ඩායමට අවශ්‍ය දෙය එයයි. එසේම මේ අවස්ථවේදී හොඳින් පන්දු යවන එක ගැන මම පෞදිගලිකව ගොඩක් සතුටු වෙනවා. ඒ අනුව මෙම දස්කම් ඉදිරියටත් පවත්වාගන්න බලාපොරොත්තු වෙනවා.‘ යනුවෙන් පැවැසීය.
කෙසේ වෙතත් මෙම තරගයේදී පහසු උඩපන්දු දෙකක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් ගිළිහී ගිය අතර අදාළ කරුණ පිළිබඳව යොමු වූ පැනයකට පිළිතුරු ලබා දුන් වනිඳු මෙසේ පැවැසීය. ‘මෙවැනි අවස්ථාවක උඩපන්දු ගිළිහී යෑම ඕනෑම ක්‍රීඩකයකු අතින් සිදු විය හැකියි. නමුත් එය දිගින් දිගටම වනවා නම් එය වළක්වා ගැනීමට අපි උත්සාහ කළ යුතුයි. එසේම මෙම තරගයේදී උඩපන්දු දෙකක් ගිළිහී ගියේ අපේ සිටින දක්ෂම පන්දු රකින්නන් දෙදෙනෙකු අතින්. ඒ අනුව කණ්ඩායමක් ලෙස වැරදි හදාගෙන ඉදිරි තරග සඳහා මුහුණදිය යුතුයි. කෙසේ වෙතත් කණ්ඩායමක් ලෙස අපි ඉතා හොඳ කණ්ඩායමක් බව මේ වන විට පෙන්නමින් සිටිනවා.’
පිතිකරණ ලැයිස්තුවේ පහළ ස්ථානයක පිතිකරණ යෙදීම සම්බන්ධයෙන් යොමු වූ පැනයකට මෙලෙස පිළිතුරු ලබා දුන් වනිඳු ‘පිතිකරණය යෙදෙන ස්ථානය, කණ්ඩායමේ සංයුතිය තැනීමේදී ලැබෙන දෙයක්. නායකයාත් පුහුණුකරුවාත් අපිට එය දැනුම් දුන් වහාම අපිට හැකි උපරිමයෙන් එම කටයුත්ත ඉටු කිරීමයි අපේ වගකීම. ක්‍රීඩකයකු ලෙස පිතිකරණයේ යෙදෙන ස්ථානය නොවෙයි වැදගත්. වැදගත් වන්නේ තරගයක් ජයග්‍රහණය කරවිය හැක්කේ කෙලෙස ද යන්නයි. ඉතින් අපි සෑම විටම උත්සාහ කරන්නේ කුමන ස්ථානයේ පිතිකරණයේ යෙදුනත් හැකි උපරිමයෙන් ක්‍රීඩා කරමින් තරගයක් ජයග්‍රහණය කරවන්නටයි. පිතිකරණ ලැයිස්තුවේ ස්ථානය වැදගත් නැහැ. රටවෙනුවෙන් කුමන ස්ථානයක පිතිකරණයේ යෙදුනත් ජයග්‍රහණය ලබා ගැනීමට හැකි නම් වරදගත් වන්නේ එයයි.’