දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය දැක්වූ

ජයගන්නා ආකාරය කණ්ඩායම දැන් දන්නවා - සනත් ඕනෑම අභියෝගයකට උචිත කණ්ඩායමක් නිර්මාණය කිරීම බලාපොරොත්තුවයි - තරංග

International Cricket

52

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග ජයගන්නා ආකාරය ගැන විශාල අවබෝධයකින් සිටින බවත් ඔවුන්ට තවදුරටත් පරාජව වීමට අවශ්‍යතාවයක් නැති බවත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පැවැසීය. සනත් ජයසූරිය මේ බව සඳහන් කළේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරයට පෙර ඊයේ (21දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී තවදුරටත් මෙලෙස ද අදහස් දැක්වූ ප්‍රධාන පුහුණුකරුවා. ‘පළමු දේ ක්‍රීඩකයින්ට අවශ්‍ය ආත්ම විශ්වාසය ලබා දීමයි. මම සෑම විටම කියන්නේ අපි මිලියන 22ක ජනතාවක් නියෝජනය කරනවා. එම ප්‍රේක්ෂකයින් මෙම ක්‍රීඩාවට ගොඩක් ආදරය කරනවා. අපිට ඊට විශාල ඇල්මක් තිබෙනවා. මම සෑම විටම කියන්නේ රටට ක්‍රීඩා කරන විට සියයට 100ක් දෙනවා. ඉතින් මම කියන්නේ ක්‍රීඩාංගණයට ගිය සෑම අවස්ථාවකම තරගයක් දිනුවත් පැරදුනත් ජයග්‍රහණය වෙනුවෙන් යන ආකල්පය හෝ උත්සාහය වෙනස් කරන්න එපා. සෑම විටම සියයට 100ක් දෙන්න. එවිට කිසිදු අවස්ථාවක වරදින්නේ නැහැ. එවන් කුඩා කරුණු අපි වැඩි අවධානයකින් කටයුතු කරනවා. මේ ළමයි පොඩි කාලයේ ඉඳන් ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා. සිදු විය යුත්ත ගැන ඔවුන් දන්නවා. ඔවුන්ට අවශ්‍ය විනය, දයාව, කරුණාව සහ ආත්ම විශ්වාසය ලබා දීම සිදු කළ යුතුයි. ඒ සෑම දේම එකතු කරගෙන ඉතාමත් හොඳ විදියකට ඉදිරියට යනවා. පුහුණුකරුවෙකු ලෙස මමත් තවමත් දේවල් ඉගෙන ගන්නවා. මම මින් පෙර පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරමින් මෙතනට ආවේ නැහැ. ඒ අනුව සෑම දිනයකම වැඩි දියුණු කර ගතු යුතු තැනක් ලැබෙනවා. කෙසේ වෙතත් පුහුණුකරුවෙකු ලෙස වැඩ කිරීම පහසු නැහැ. සතුට, මානසික ආතතිය, දුක යන සියලු දේ එහි තියෙනවා. සමහර අවස්ථා වල හැඟීම්බර වෙනවා. නමුත් මේ වන විට තිබෙන ත්තත්වය ගැන මම සතුටුයි. මගේ සහාය පුහුණු කාර්යමණ්ඩලය මට උපරිම සහයෝගයක් ලබා දෙනවා. ක්‍රීඩකයිනුත් උපරිම සහයෝගය ලබා දෙනවා. දැන් ඔවුන් දන්නවා දිනන්නේ කෙලෙස ද කියා. ඔහුන්ට පරිදින්න අවශ්‍ය නැහැ. ඔවුන් තමන්ගේ ක්‍රීඩාව ගැන සතුටු වෙනවා. මම සිතනවා ඉදිරියටත් ඔවුන් මෙම තත්ත්වය පවත්වාගනීවි කියා.’

පන්දු රැකීම සම්බන්ධයෙන් යොමු වූ පැනයකට පිළිතුරු ලබා දුන් සනත් ජයසූරිය ‘අපි හැමදාම පිළිගන්න දෙයක් තමයි ලංකාව කියන්නේ ලෝකයේ හිටපු හොඳම පන්දු රැකීමේ කණ්ඩායමක්. ඒ තැනට ගේන්න තමයි අපි මහන්සි වෙන්නේ. පන්දු රැකීම වැඩි දියුණු කරන්න අපි ගොඩක් දේවල් කරනවා. ඒ වෙනුවෙන් උපුල් චන්දන ලොකු කැපවීමක් සිදු කර තිබෙනවා වගේම අනෙක් පුහුණු කාර්යමණඩල සාමාජිකයනුත් ඊට උපරිම සහයෝගය ලබා දෙනවා. නමුත් එම අපේක්ෂිත තත්ත්වයට පැමිණ නැහැ. මම ආස කරන තැනට තවම පැමිණ නැහැ. තවමත් මග එන ගමන්. එතැනට එන්න අපි වැඩ කරනවා. ඒ අනුව ඉස්සරහටත් උපුල් ඒ කැපවීම සිදු කරාවි. ඉතිහාසයේ අපි පන්දු රැකීමෙන් ලකුණු විශාල ප්‍රමාණයක් නවත්වලා තිබෙනවා. එතැනට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා.’
පන්දු යවන්නන් පිතිකරණයෙන් ලබා දෙන දායකත්වයත් පිතිකරුවන්ගේ සාර්ථකත්වය පිළිබඳව ද මෙහිදී අදහස් දක්වමින් සනත් පැවැසූයේ මෙවැන්නකි. ‘කුසල් මෙන්ඩිස් ගැන ගොඩක් දෙනෙක් අහන දෙයක් ලකුණු අතර සිටියේ නැති ක්‍රීඩකයෙක් දැන් ලකුණු අතර ඉන්නේ කොහොමද කියල. එංගලන්ත සංචාරයේදී ඔහු ලකුණු අතර නොසිටි අවස්ථාවේ ඔහුගේ අපි දුටු තාක්ෂණික කරුණක් නිවැරදි කළා. එම වෙනස් කිරීම සිදු කිරීමෙන් පසුව අපි ඔහුගේ ටෙස්ට් පිතිකරණයේ ලොකු වෙනසක් දැක්කා. ඉන් අනතුරුව ලංකාව වෙනුවෙන් පැවැති අනෙක් තරග වලදීත් ඔහු ලකුණු අතරට එන්න පටන් ගත්තා. ඔහු පරිනත ක්‍රීඩකයෙක්. ඔහුගේ දක්ෂතම අපි මුල සිට දැක්කා. නමුත් සමහර කාල වලදී එහු ලකුණු අතර නොසිටියා. එවන් තත්ත්වයන් ඕනෑම ක්‍රීඩකයකුට ඇති විය හැකියි. ඒ අවස්ථාවේ ඉයන් බෙල්ගේ සහයෝගයත් ලැබුණා. නමුත් පිතිකරණ පුහුණුකරු ලෙසින් ඉන්නේ තිළිණ කණ්ඩම්බි. ඒ වෙනුවෙන් ඔහු ලොකු වගකීමක් ගත්තා. පිතිකරුවන් ලකුණු අතර නැති විට මුළු වගකීමම එන්නේ පිතිකරණ පුහුණුකරුවාටයි. එසේම අපි පන්දු යවන්නන්ගේ පිතිකරණය දියුණු කිරීම ගැනත් වැඩි වශයෙන් අවධානය යොමුකර තිබෙනවා. ඉන් ඇතිවූ වාසිය අපි දැක්කා.’
කෙසේ වෙතත් පසුගිය තරගාවලි කිහිපයේදීම යොදා ගනු ලැබූ තණතීරු පිළිබඳව යොමු වූ පැනයකට පිළිතුරු ලබා දුන් තරංග ‘විශේෂයෙන් ජාත්‍යන්තර තරග සඳහා සැළසුම් සකස් කරන්නේ ප්‍රතිවාදී කණ්ඩායම ගැන සැළකීමෙන් අනතුරුවයි. නමුත් අවසන් තරගාවලි කිහිපයේදී අපි ක්‍රීඩා කළේ දඟ පන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් දක්වන තණතීරු වලයි. එසේ වුවත් අපිට කණ්ඩායමක් ලෙස ජයග්‍රාහී මානසිකත්වය සහ එහි ශක්තිය ලඟා කරගත යුතුයි. ක්‍රීඩකයින්ට අවශ්‍ය ආත්ම විශ්වාසය ලැබෙන්නේ එයිනුයි. ඉන් අනතුරුව අපිට අපගේ ශක්තිය සහ කණ්ඩායමේ සංයුතිය අනුව තණතීරු සම්බන්ධයෙන් තීරණය කළ හැකියි. නමුත් අපි පසුගිය කාලයේ එංගලන්ත තරගාවලියේදී ඔවුන්ව පරාජයට පත් කළා. එහිදී අපිට ලැබුණේ දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරු නොවෙයි. එහිදී අපේ වේගපන්දු යවන්නන් හොඳින් ක්‍රීඩා කළා. අපි කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කළත් පිට ක්‍රීඩා කළත් ලැබෙන ඕනෑම අභියෝගයකට උචිත කණ්ඩායමක් නිර්මාණය කිරීමයි අපගේ බලාපොරොත්තුව. නමුත් දේශීය තරග වලදී අපි හොඳ තණතීරු වල ක්‍රීඩා කළ යුතු බව මම තරයේ විශ්වාස කරනවා.’ ලෙසින් පැවැසීය.
මෙම වසර තුළ අකණ්ඩව එකම කණ්ඩායමකට අවස්ථාව ලබා දීමේ තීරණය පිළිබඳව යොමු වූ පැනයකට මෙලෙස පිළිතුරු ලබා දුන් තේරීම් කමිටු ප්‍රධානියා පැවැසූයේ මෙවැන්නකි. ‘අපි මුළින්ම සැළසුම් කරගෙන සිටියේත් ක්‍රීඩකයින්ට දීර්ඝ කාලීනව අවස්ථාවක් දීමයි. සිදු විය යුත්තේ එය බවයි අපි විශ්වාස කරන්නේ. මොකද අපි සෑම අවස්ථාවකම ක්‍රීඩකයින්ට උපරිම සහයෝගය දෙන්න අවශ්‍යයි. තරග කිහිපයකින් පසුව ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත් කරනවා නම් ඊලඟට එන ක්‍රීඩකයින්ටත් යම් පීඩනයක්. ඒ අනුව අපි සියලුදෙනා සමඟින් සාකච්ඡා කර ගත් තීරණයක් වූයේ ඕනෑම ක්‍රීඩකයකුට දීර්ඝ ලෙස අවස්ථාවක් ලබා දී අසාර්ථක වුවහොත් පමණක් වෙනත් ක්‍රීඩකයකු ඒ වෙනුවට ආදේශ කිරීම. එසේ නොමැතිව තරගාවලියෙන් තරගාවලියට ක්‍රීඩකයින් වෙනස් කළහොත් ඔවුන්ට දැනෙන පීඩනය හමුවේ දස්කම් දැක්විය නොහැකියි. දීගු කාලීනව අවස්ථාව ලබා දුන්නොත් පමණයි ක්‍රීඩකයින්ට වුවත් ආත්ම විශ්වාසය ඇති වෙන්නේ. ක්‍රීඩකයකු ලෙස මමත් පෞද්ගලිකව එම තත්ත්වය දන්නවා.’ යනුවෙන් පැවැසීය.
මේ අතර ටෙස්ට් ක්‍රීඩාවට සමු දීමෙන් පසුව යළිත් එම තීරණය වෙනස් කරමින් බංග්ලාදේශ සංචාරයේදී ශ්‍රී ලංකා සංචිතයට එක් කළ වනිඳු හසරංග පිළිබඳව ද යොමුවූ පැනයකට පිළිතුරු ලබා දුන් උපුල් තරංග ‘ඔහුව අපි බංග්ලාදේශ සංචාරයට සහ එංගලන්ත සංචාරයට නම් කළා. නමුත් කණ්ඩායමේ ශක්තිය සහ යොදා ගන්නා උපායන් ගැන සැළකීමෙන් අනතුරුවයි කණ්ඩායමක් තෝරා ගන්නේ. වනිඳු අපි ටෙස්ට් ක්‍රීඩාවෙන් අතහැර නැහැ. ඔහු සමඟත් අපි සාකච්ඡා කර තිබෙනවා. ඔහු සමඟින් අපි සාකච්ඡා කර තිබෙනවා. ඔහු අවශ්‍ය වන ඕනෑම අවස්ථාවක නැවත කැඳවනවා.’ ලෙසින් සඳහන් කළේය