ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ජාත්‍යන්තර අරමුදල කප්පාදු කෙරෙයි.

මීලඟ නිලවරණයත් 2025 මාර්තු මාසයට පෙර පවත් වන බවට ඉගි

International Athletics

63

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව වෙත ලබා දෙන අරමුදල් කප්පාදු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විශේෂ ලිපියක් යොමු කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව වෙත දන්වා ඇත්තේ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ පවත්නා ආචාරධර්ම ගැටලු සහ අභ්‍යන්තර ගැටුම් මෙම තීරණයට හේතු වූ බවයි. කෙසේ වෙතත් කළක පටන් ඔලිම්පික් කමිටුවේ අරමුදල් අවභාවිතා කරන බවට එහි නිලධාරීන් කිහිපදෙනෙකු වෙත චෝදනා එල්ල විය. ඒ අනුව මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන ලේකම්වරයාගේ තනතුර වහාම ක්‍රියාතමක වන පරිදි අත්හිටුවන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව වෙත පසුගිය දිනෙක දන්වා තිබූ බව ද සඳහන්ය. ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සිදු කළ විමර්ෂණ වාර්තාවක් පදනම් කර ගනිමින් අදාළ තනතුර තහනමකට ලක් කර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් සිදු කළ යුතු බවට ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර් ධර්ම කමිටුව ද නිර්දේෂ කර තිබිණි.
නමුත් ඊට සාධනීය ප්‍රතිචාරයක් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව නොදැක්වූ පසුබිමක පසුගිය නොවැම්බර් 5 වැනිදා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මගින් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව වෙත දන්වා තිබුණේ ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාරධර්ම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසයි. එසේම එලෙස අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් අදාළ ලිපියේ සඳහන් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබූ බවද දැක්වේ.
කෙසේ වෙතත් අදාළ ලිපිය මගින් දක්වා තිබූ කරුණු නොසලකා හැරීම සම්බන්ධයෙන් පසුගියදා තවත් ලිපියක් යොමු කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දන්වා තිබුණේ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව වෙත ලබා දෙන සියලු මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවන බවයි. එසේම ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව තුළ පවතින අභ්‍යන්තර ගැටුම් සහ ආචාරධර්ම සම්බන්ධ ගැටලු විසඳීමට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව අපොහොසත් වී ඇති බව ද මෙම දෙවැනි ලිපියේ සඳහන් කර තිබිණි.
එසේ දීමනා කප්පාදුවක් සිදු කළ ද ඔලිම්පික් ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලබා දෙන සෘජු ගෙවීම් එලෙසම ක්‍රියාත්මක කරන බව ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යොමු කර තිබූ ලිපියේ දක්වා ඇත.
ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් ඊට අදාළ ඉදිරි පියවර ගැනීමත් වෙනුවෙන් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ විශේෂ මහා සභාවක් පසුගියදා කැඳවීමට ද පියවර ගෙන තිබිණි. එහිදී අදාළ කරුණු සම්බන්ධයෙන් සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව තීරණය වී ඇත්තේ විධායක කමිටුවේ නිල කාලය අවසන් වීමට පෙර නිලවරණයක් පවත්වා නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමටයි. එසේම මෙම නිලවරණය එළැඹෙන 2025 වසරේ මාර්තු මාසයට පෙර පැවැත්වීමටත් අදාළ මහා සභා රැස්වීම මගින් තීරණය කර ඇති බව ද දැනගන්නට ඇත