ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට අදාළව පැවැත්වෙන පළමු විස්සයි-20 තරගය අනිද්දා (28දා) මවුන්ට් මන්ගනුයිහි බේ ඕවල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. එම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට පෙරවරු 11.30ට ආරම්භ වනු ඇත.
තරග 3කින් යුත් විස්සයි-20 තරගාවලියේ පළමු තරගය වීම හේතුවෙන් එම තරගය ජයගනිමින් තරගාවලියට සාර්ථක ආරම්භයක් ලඟා කර ගැනීමට කණ්ඩායම් දෙකම උත්සාහ දරණු නොඅනුමානය.
කෙසේ වෙතත් නවසීලන්ත එක්දින සහ විස්සයි-20 නිත්‍ය නායකත්වය හිමි වීමෙන් අනතුරුව මිචෙල් සැන්ට්නර් එක්වන පළමු සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ද මෙයයි. එසේම විස්සයි-20 තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතයට නවක පිතිකරු බෙවන් ජේකොබ්ස් කැඳවා තිබිණි. එසේම ශ්‍රී ලංකාව සමඟින් පැවැති පුහුණු තරග වලදී ද පිතිකරණයෙන් දස්කම් දැක්වූ ඔහු මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට යම් හිසරදයක් වනු ඇති බව පෙනෙන්නට තිබේ.
ඊට අමතරව නිමා වූ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 තරග සංචාරයට එක් නොවූ ඩැරල් මිචෙල් සහ මැට් හෙන්රි නවසීලන්ත සංචිතය වෙත කැඳවා තිබීම හේතුවෙන් එය නවසීලන්තයට අමතර ශක්තියක් වනු නොඅනුමානය. කුමන තත්ත්වයක් යටතේ වුවත් නවසීලන්තය තම මව්බිමේදී ඕනෑම ප්‍රතිවාදියෙක්ට එල්ල කරන අභියෝගය සුළුකොට තැකිය නොහැකිය. එලෙසම දඟ පන්දු යවන්නන්ට හිතකර ශ්‍රී ලංකාවේදීත් විස්සයි-20 තරගාවලිය තරග 1-1ක් ලෙසින් සම තත්ත්වයෙන් නිමා කර ගැනීමට නවසීලන්තයට පසුගිය නොවැම්බර් මාසයේදී හැකියාව ලැබිණි. එම නිසා ඉතා ඉහළ මානසිකත්වයකින් ඔවුන් හෙට පැවැත්වෙන විස්සයි-20 තරගාවලියට පිවිසෙනු ඇත.
ඒ අනුව වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණට මෙම තරගාවලියේ දී වැඩි වගකීමක් පැවරෙන්නේ නිතැතිනි. ඒ විස්සයි-20 තරග රටාව තුළ ශ්‍රී ලංකාව සතුව සිටින වඩාත් අත්දැකීම් බහුල සහ වඩාත් ඉදිරියෙන් සිටින පන්දු යවන්නන් දෙදෙනා ඔවුන් වීම නිසාවෙනි. කෙසේ වෙතත් පසුගිය විස්සයි-20 තරග කිහිපයේදීම ශ්‍රී ලංකාවේ ආරම්භය එතරම් සාර්ථක නොවූ බවක් පෙනෙන්නට තිබිණි. එනම් පැතුම් නිස්සංක පසුගිය විස්සයි-20 තරග කිහිපයේදීම තම සුපුරුදු රිද්මයට පිවිස නොසිටියේය. එසේ වුවත් පසුගියදා දෙවැනි පුහුණු තරගයේ දී යම් සාර්ථකත්වයක් ලඟා කර ගැනීමට පැතුම්ට හැකියාව ලැබිණි. ඒ අනුව මෙම විස්සයි-20 තරගාවලියේදී පැතුම් නිස්සංකගේ සාර්ථකත්වය ශ්‍රී ලංකාවේ පැත්තෙන් තීරණාත්මක සාධකයක් වනු ඇතැයි පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත් බේ ඕවල් තණතීරුව වේගපන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් දැක්වීමේ ස්වභාවයක් පවතින බැවින් මෙම තරගය සඳහා අමතර වේගපන්දු යවන්නනකු ලෙස නවක තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ කැඳවීමේ වැඩි ඉඩක් තිබේ.
තරග 3කින් යුත් ශ්‍රී ලංකා - නවසීලන්ත විස්සයි-20 තරගාවලියේ පළමු තරගය හෙට ආරම්භ වෙද්දී දෙවැනි තරගය එළැඹෙන 30 වැනිදා බේ ඕවල් ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතව තිබේ. තෙවැනි විස්සයි-20 තරගය ජනවාරි මස 2 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ නෙල්සන්හිදීය.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මෙතෙක් විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 25ක් පවත්වා තිබේ. ඉන් තරග 14ක ජය නවසීලන්තයටත් 10ක ජය ශ්‍රී ලංකාවටත් හිමි වී තිබේ. එක් තරගයක් ප්‍රතිඵලයක් නොමැතිව නිමාවට පත්ව ඇත.
අවසන් වරට ශ්‍රී ලංකාව විස්සයි-20 තරගාවලියක් සඳහා නවසීලන්තයේදී එක්ව ඇත්තේ 2015/16 කාලසීමාවේදීය. එම තරගාවලියෙන් පවා තරග 2-0ක ජයක් හිමිකර ගෙන තිබුණේ නවසීලන්තයයි.