ඉදිරියේදී වැරදි අඩුපාඩු වෙන්න බැහැ - සනත්

නවසීලන්ත තරග සංචාරය නිමා වීමෙන් අනතුරුව අද (13දා) පෙරවරුවේ කටුණායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය .

International Cricket

38

නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් සිදු කළ වැරදි සහ අඩුපාඩු ඉදිරියේදී වළක්වා ගත යුතු බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පැවැසීය.  සනත් ජයසූරිය මේ බව කියා සිටියේ නවසීලන්ත තරග සංචාරය නිමා වීමෙන් අනතුරුව අද (13දා) පෙරවරුවේ කටුණායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

එහිදී තවදුරටත් මෙසේ ද අදහස් පළ කළ සනත් ‘විස්සයි-20 තරගාවලියේ එක් තරගයක් නොව තරග 2ක් පහසුවෙන් අපිට ජය ගැනීමට තිබුණා. එම තරගාවලිය පරාජය වීම ගැන මට වගේම කණ්ඩායමටත් ලොකු කණගාටුවක් තිබෙනවා. පන්දුවාර 50 තරගාවලියේදී අවසන් තරගය කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළා. පළමු තරග දෙකේ පළමු පන්දුවාර 10 තුළ අපේ පිතිකරුවන් ලකුණු අතර සිටියේ නැහැ. කෙසේ වෙතත් එවන් අවස්ථා වල කඩුලු 4ක් හෝ 5ක් බිඳ වැටුනු විට ඉතා අසීරුයි. නමුත් තෙවැනි තරගයේ ඒ වැරදි හදාගෙන හොඳින් ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කළා. මේ වැරදි අඩු පාඩු මින් ඉදිරියට වෙන්න බැහැ. ඒ අනුව අපි දැන් උත්සාහ කරන්නේ රටින් පිට යන විට හැකිතරම් අඩුපාඩු අවම කර ගන්නයි. මෙහිදීත් රටෙන් පිටත්, මින් පෙරත් මේ දේම අපිට වෙලා තිබෙනවා. නමුත් ඉදිරියේ දී ඒ තත්ත්වය වෙනස් වේවි.’ 

ශ්‍රී ලංකාවේ මීලඟ අභියෝගය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුවා ‘මීලඟට ඕස්ටේ්‍රලියාව සමඟ ටෙස්ට් තරග 2ක් තිබෙනවා. ඒවා මේ මාසයේ අන්තිමට පැවැත්වෙන්නේ ගාල්ලේ. ඒ වෙනුවෙන් තව දවස් කිහිපයකින් පුහුණුවීම් කටයුතු ආරම්භ කරනවා. ශ්‍රී ලංකාවේ සිටි ක්‍රීඩකයින් මේ වන විටත් තමන්ගේ පුහුණු කටයුතු ආරම්භ කර තිබෙනවා.’ යනුවෙන් පැවැසීය. 

ඕස්ටේ්‍රලියානු සංචාරයේ දී කණ්ඩායමේ සංයුතිය සහ පැතුම්ගේ ආබාධය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ සනත් මෙසේ ද පැවැසීය. ‘කණ්ඩායමේ වෙනස්කමක් ගැන තවම කිසිදු තීරණයක් ගෙන නැහැ. නමුත් එකම දේ පැතුම් නිස්සංකගේ ආබාධයයි. අවාසනාවකට තෙවැනි එක්දින තරගයේ දී පැතුම්ගේ පාදයේ ආබාධයක් ආවා. ඒ තත්ත්වය තවමත් එතරම් හොඳ නැහැ. ඉදිරියේදී මොකද වෙන්නේ කියා බලන්න අවශ්‍යයි.’ 

මේ අතර මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 නායක චරිත් අසලංක පැවැසූවේ මෙවැන්නකි. ‘බලාපොරොත්තු වූ අයුරින් තරගාවලිය නිමා කර ගන්න හැකි වුණේ නැහැ. නමුත් අපි තරගාවලියකට යන්නේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන්. නමුත් තරගාවලියේ ධනාත්මක කරුණු රැසක් තිබෙන බව මම සිතනවා. දිනන පරදින එක වෙන්න පුළුවන් නමුත් කණ්ඩායම දැන් ගොඩක් වෙනස්. නවසීලන්ත කණ්ඩායම මෙහි ආ විටත් ඔවුන් තරග 2-0ක් ලෙස පරාජය වුණා. ඔවුන් මෙහි පැමිණි විට අපි දඟ කැවෙන තණතීරු වල ක්‍රීඩා කළා. නවසීලන්තයේදී අපිට වේගය සහිත තණතීරු ලැබෙනවා. අපි ඊට සූදානම් විය යුතුයි.’