ශාරීරික අභියෝග සහිත වූවන්ගේ ශූරයින්ගේ කුසලානය 2025

ලංකාවට තීරණාත්මක තරගයක් හෙට

International Cricket

35

ශාරීරික අභියෝග සහිත වූවන්ගේ ශූරයින්ගේ කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන තවත් තීරණාත්මක තරගයක් හෙට (15දා) පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.

කටුණායක නිදහස් වෙළෙඳ කලාපීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ ප්‍රභල ඉන්දීය කණ්ඩායමයි. එසේම තරගාවලියේ මෙතෙක් ඔවුන් මුහුණදුන් සියලු තරග ජයගත් ඉන්දීය කණ්ඩායම මේ වන විටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වී තිබීම ද විශේෂත්වයකි.
එසේම මෙම තරගාවලියේ පාකිස්තානය සහ එංගලන්තය අතර තරගය  අද පෙරවරු 9.00ට පැවැත්වීමට නියමිතව ඇත්තේ ද කටුණායක නිදහස් වෙළෙඳ කලාපීය ක්‍රීඩාංගණයේදීය.
මේ අතර මෙම තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව මුහුණදෙන මීලඟ තරගය අනිද්දා (16දා) පෙරවරුවේ එංගලන්ත කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව 18 වැනිදා පාකිස්තානය සමඟින් පැවැත්වෙන අතර මූලික වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන අවසන් තරගය 19 වැනිදා ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව 19 වැනිදා මූලික වටයේ තරග සියල්ල නිමා වීමෙන් අනතුරුව පැවැත්වෙන අවසන් මහා තරගය මෙම මස 21 වැනිදා පෙරවරු 1.00ට කටුණායකදීම පැවැත්වීමට නියමිතව ඇත. එහිදී ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ සහ දෙවැනි ස්ථානයේ පසුවන කණ්ඩායම් තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් මෙම තරගාවලියේ මූලික වටය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරග ද්විත්වයෙන්ම අවාසනාවන්ත ලෙසින් පරාජයට පත්වීමට ඔවුන්ට සිදු විය.
ඒ අනුව මෙම තරගාවලියේ සමාරම්භක තරගය වූ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 24ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමි විය. එම තරගයේ පළමුව ලකුණූ රැස්කළ එංගලන්තය පන්දුවාර 6ක් තුළ කඩුලු 3කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 77කි. වර්ෂාව හේතුවෙන් පන්දුවාර 6කට සීමා කර තිබූ එම තරගයේ දී එංගලන්තයෙන් හිමි වූ දැවැන්ත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 6ක් අවසානයේ කඩුලු 7කට රැස්කර ගත හැකි වූයේ ලකුණු 53ක් පමණි.
ඉන් අනතුරුව ඊයේ  (13දා) මෙම තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව මුහුණදුන් දෙවැනි තරගයෙන් ද ලකුණු 140ක දැවැන්ත පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. එම තරගයේ පළමුව ලකුණු රැස් කළ පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3කට රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 209කි. එම දැවැන්ත ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15.4ක් තුළ සියළු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 69ක් පමණි.