26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය දකුණු කොරියාවේ ගුමිහිදී 27දා සිට ආරම්භ වීමට නියමිතව ඇති අතර ඊට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන 24දා මව්බිමෙන් පිටත්ව යෑමට නියමිතව ඇත.
ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 13 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 7 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සහභාගී වේ. මෙවර තරගාවලිය සඳහා ද ආසියානු කලාපයේ රටවල් 43ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වෙති.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ද හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනයකළ සුමේධ රණසිංහයි. එසේම නායිකාව ලෙසින් ද නම් කර ඇත්තේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීශා දිල්හානි ලේකම්ගේයි.
අවසන් වරට පැවැති 25 වැනි ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව එම තරගාවලි ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගනිමින් නිමා කිරීමට සමත් වීම කැපී පෙනිණි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ද හිමිකරගත්හ. එහිදී සමස්ත පදක්කම් සටහනේ ශ්‍රී ලංකාවට සිවු වැනි ස්ථානය හිමි වීම ද විශේෂත්වයකි. ඊට අමතරව එම තරගාවලියේ දී ශ්‍රී ලංකා වාර්තා 5ක් බිඳ වැටීම ද කැපී පෙනිණි.
ශ්‍රී ලංකා කණ්ඩායම
පිරිමි - යුපුන් අබේකෝන්, චමෝද් යෝධසිංහ, කාලිංග කුමාරගේ, අරුණ දර්ශණ, ලසිඳු අර්ථවිදු, සුමේධ රණසිංහ, රුමේෂ් තරංග, මෙරොන් විජේසිංහ, දිනෙත් වීරරත්න, චමෝද් දිසානායක, සදෙව් රාජකරුණා, කල්හාර ඉන්දූප, ඔමෙල් සසිත සිල්වා.
කාන්තා - රසාරා විජේසූරිය, දිල්හානි ලේකම්ගේ, නිෂේන්ද්‍රාද සිල්වා, නදීෂා රාමණායක, සයුරි මෙන්ඩිස්, ජයේෂි උත්තරා, ජනිත්මා විජේතුංග